ශ්‍රී ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම, ලාංකීය දේශපාලනය මෙතරම් කැළඹීමට ලක් කර තිබෙන්නේ ඇයි?

ප්‍රතිපත්තිගරුක දේශපාලනය සහ ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවමත් ජනප්‍රිය තලයේ ලාංකීය දේශපාලන වපසරියෙන් පරිබාහිරව පවතින්නකි. ගිරිය පුප්පා වේදිකා දෙවනත් කරමින්, ඉටු කළ නොහැකි දේශපාලන පොරොන්දු දීමත්, වර්ගෝත්තමවාදය හෝ ආගම්වාදය වපුරා ජනතාව කුපිත කිරීමත් හැරුණු විට මෙම ජනප්‍රිය තලයේ දේශපාලනයේ ඉලක්කය වන්නේ කෙටි කාලීනව ජනමතය මුලා කර අවස්ථාවාදී අරමුණු සඵල කර ගැනීමයි. දුටු තැන දරුවන් වඩා ගැනීමටත්, කාන්තාවන් සන්තර්පණය කිරීමටත්, දූෂිතයන්ගේ කරට අත දා ගැනීමටත් බොහෝ ලාංකීය දේශපාලකයන්ට සිදුවන්නේ එහෙයිනි. රනිල්  වික්‍රමසිංහ ලාංකීය දේශපාලනයට නොගැළපෙන්නේ යයි පවසන්නන් ඔහුගෙන් ද අපේක්ෂා කරනුයේ ජනප්‍රිය රැල්ලට ගසාගෙන යන කෙටිකාලීන ඉන්ද්‍රජාලික මායාවන්ගෙන් ජනතාව මුලා කරන නායකයෙකුගේ භූමිකාව රඟ දක්වන ලෙසයි. එහෙත් රනිල් වික්‍රමසිංහගේ දශක හතරකට අධික දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේ කිසිදා ලාභ ජනප්‍රියත්වය වෙනුවෙන් ගත් තීරණ නැත; ජනමතයට එරෙහිව බලයේ එල්බගෙන සිටීමට ගත් උත්සාහයන් නැත. නමුත් ඔහු තවමත් ලොවම පිළිගන්නා කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙකි; දැඩි ඉවසීම ප්‍රගුණ කිරීම මගින් පරිණතභාවයට පත් ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙකි.

ලාංකීය දේශපාලන නායකයන් කිසිවකු මුහුණ නොදුන් තරම් අභියෝගවලට ද, විරුද්ධ පාක්ෂිකයින්ගේ පමණක් නොව ස්වකීය පක්ෂ සාමාජිකයන්ගේම නිර්දය විවේචනයට සහ දෝෂාරෝපණයට ද ලක් වුවත් ඒ සියලු කුණාටු අවසන සියල්ලන්ට සිදු වූයේ, “රනිල් හරි” යයි කීමට පමණි. දිනෙන් දින උග්‍ර වන කොවිඩ්-19 වසංගත තත්වය, ආර්ථික අර්බුදය සහ දේශපාලන-මිලිටරි අඥාදායකත්වය ආදී සියලු වර්තමාන අභියෝග හමුවේ ජනතාව නැවතත් “රනිල් හරි” යයි පුනරුච්චාරණය කරති. මෙම ලිපිය, රනිල්ගේ චරිතය අතිශයෝක්තියට නැංවීම පිණිස නොව, ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳ කෙටි විග්‍රහයක් කිරීම වෙනුවෙනි.

කොළඹ කේන්ද්‍ර කරගත් නාගරික ප්‍රභූ පවුලක උපත ලැබීමත්, රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමත්, අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් උපාධිය ලබා ගැනීමත් රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව ඉස්මතු වීමට බලපෑ අමතර සාධක ලෙස හඳුනාගත හැකිය. සම්ප්‍රදායික චින්තන රාමුවෙන් බැහැරව ලිබරල්, නව තාක්ෂණික නැඹුරුව, බහුවාර්ගික සමාජයක් කෙරෙහි වූ විශ්වාසය සහ සමාජ සංහිඳියාව වෙනුවෙන් කැපවීම රනිල්ගේ දේශපාලනික සුවිශේෂතාය. ජනප්‍රිය වර්ගෝත්තමවාදී දේශපාලනයේ නියැලෙන්නන්ට රනිල් හතුරෙකු ලෙස පෙනෙන්නේ ඔහු සතු ඔවුන්ට තේරුම් ගත නොහැකි මෙම සුවිශේෂතා හේතුවෙනි.

බුද්ධාගමේ නාමයෙන් අන්‍යාගමිකයන් තලා පෙලා දැමීමට තතනන ලාංකීය දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිවාදීන්ට තාර්කිකව සහ නිර්ප්‍රචණ්ඩ ලෙස පිළිතුරු දීමට බුදුදහමේ උදාහරණ උපයෝගී කරගන්නා ආකාරය ප්‍රශස්තය. 2018 ඔක්තෝබර් 26 වැනිදා එවකට සිටි ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස වෙනත් අගමැතිවරයකු පත් කිරීමත් සමඟ පැනනැගුණු ආඥාදායකත්වයට එරෙහිව දින 51 ක් පුරා පැවැති ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ දී වෛරී හැඟීම් පැතිරවීම වෙනුවට සිය ප්‍රතිවාදීන්ට පිළිතුරු දීමට රනිල් තෝරාගත්තේ, ඉවසීම සහ බුදු දහමේ ආදර්ශයන්ය. වේදිකා දෙදරන්නට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවාට වඩා රනිල්ගේ තියුණු බුද්ධිමය තර්කනය විසින් එම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට ශක්තිය සැපයීය. කුමන පෙරළියක් අභියස වුව ද කලබල නොවන නොසැලෙන ශක්තිය දේශපාලකයෙකුට ලෙහෙසියෙන් උපයා ගත නොහැකිය.

1993 මැයි පළමුවැනිදා ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක් වීමත් සමඟ ඇතිවූ කැළඹිලි සහගත දේශපාලන අවකාශය සන්සුන් කිරීමට රනිල් මැදිහත් වූයේ සිය ප්‍රතිපත්තිගරුක දේශපාලනයේ බලමහිමයෙනි. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය බෙදී යද්දී රනිල් නොසැලී පක්ෂය සහ නායකත්වය රැක ගත්තේය. 1994 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පරාජය වූ සැනින් ආදර්ශමත් ලෙස අගමැති නිල නිවස අතහැර යාමත්, 1999 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ගාමිණී දිසානායක විසින් ලබාගත් පසු පක්ෂය අත නොහැර ඔහුට සහය දැක්වීමත් රනිල්ගේ ප්‍රතිපත්තිගරුකභාවය ඉස්මතු වූ අවස්ථා ලෙස පෙන්වා දිය හැකිය. නමුත් ප්‍රතිවාදීන් මෙන්ම බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන් ද මෙම අවස්ථා දුටුවේ රනිල්ගේ දුර්වලතා ලෙසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ලෙස සිටිද්දී, 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසින් මැදිහත් වූ සාම සාකච්ඡා සහ සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාවේ ගැටුම් කළමනාකරණය සහ සාමය ගොඩනැංවීම පිළිබඳ විශිෂ්ට උදාහරණයකි. ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි එල්ටීටීඊ සංවිධානය දිගුකාලීන සටන් විරාමයක් කෙරෙහි නම්මවා ගැනීම රනිල්ගේ උපායශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා සිදුවූවකි. අද කිසිවකු කතා නොකරන නමුත් එදා ප්‍රභාකරන් ද රනිල් හැඳින්වූයේ ගැලවිය නොහැකි ජාත්‍යන්තර දැලකට තමාව කොටුකළ “කපටි නරියෙකු” ලෙසිනි. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට තුඩුදුන් දරුණු අභ්‍යන්තර බෙදීම් ඇති වීමට බලපෑවේ රනිල්ගේ මෙම මැදිහත්වීමයි. මෙය බොහෝ විශ්ලේෂකයන් හිතාමතා මඟහරින වැදගත් දේශපාලන සාධකයකි.

ජයග්‍රහණය පෙනි පෙනී 2005 ජනාධිපතිවරණය පරාජයට පත් වූ පසුව පවා නිහඬව සිටි රනිල්, එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය වීමට හේතුව තමා බවට නැගෙන දහසකුත් එකක් චෝදනාවලට පිළිතුරු දීමට ගියේ නැත. ඔහු පොදු අපේක්ෂකයන්ට ඉඩ දී තෙවරක් ම ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වීමෙන් වැළකී සිටියේය. ඉන් නොනැවතී සිය පූර්ණ සහයෝගය ද එම අපේක්ෂකයන්ට ලබා දුන්නේය. නමුත් අවසානයේ තමා සහය දුන් පිරිස් තමාට එරෙහිව නැගී සිටිද්දීත් ඔවුන් විවේචනය කිරීමෙන් වැළකී සිටියේය. පරිණත දේශපාලකයෙකුට හැර අන් කිසිවකුට මෙම අභියෝගයන්ට මුහුණ දීමට හෝ දරුණු විවේචන දරා සිටීමට හෝ නොහැකිය.

සිරුරෙන් පමණක් දේශපාලනය කරන කිසිවකුට රනිල්ව තේරුම්ගත නොහැකිය. ඔහු දේශපාලනය කරනුයේ මනස සහ සියුම් උපායශීලී බුද්ධිය උපයෝගී කරගනිමිනි. මනස නොදියුණු අයට රනිල්ගේ දේශපාලනය තේරුම් ගන්නට හැකියාවක් නැත. ඔහුට අවශ්‍ය සියලු ජනවර්ග සංහිඳියාවෙන් වෙසෙන එක්සත් ශ්‍රී ලංකාවක් බව පැහැදිලිය. ඔහු ගැටෙන්නේ තාර්කිකවය. බොහෝ අයට රනිල්ව නොතේරෙන්නේ එහෙයිනි. නමුත් තේරුම් නොගැනීම රනිල් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. පවතින පාලන තන්ත්‍රයේ අසමත්කම් හමුවේ නොසිතූ මොහොතක අනායාසයෙන් කරළියට එන ඔහු තවමත් ලාංකීය දේශපාලනයේ අතිප්‍රබල චරිතයක් බව යළි යළිත් තහවුරු වෙමින් තිබේ.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ,                                                                                                                                                                               රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

Social Sharing
නවතම විශේෂාංග