පොලිස්පති මාර්ගෝපදේශ නොතකා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු පොලිසියට කැඳවයි!

 

 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක ක්‍රියාකාරිකයෙකු වන ඥානවීර දිසානායක මහතා 2026 අප්‍රේල් 28 වන දින පෙරවරු 10.00 ට වැල්ලව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. මෙම කැඳවීම සිදු කර ඇත්තේ ඔහුට එරෙහිව ලැබී ඇති බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යැයි සඳහන් වුවද, එම පැමිණිල්ලේ ස්වභාවය පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් ලබා දී නොමැත.

දිසානායක මහතා කුරුණෑගල, යකල්ල ප්‍රදේශයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර, ඔහු පවසන්නේ 1989/90 කාලය සිට මානව හිමිකම් ක්ෂේත්‍රයේ නිරතව සිටියද, මෙවැනි පොලිස් කැඳවීමක් ලැබෙන පළමු අවස්ථාව මෙය බවයි.

මෙම කැඳවීම වැල්ලව පොලිස් ස්ථානාධිපති විසින් ගොකරැල්ල පොලිසිය වෙත යොමු කළ නිවේදනයක් මඟින් සිදු කර ඇති අතර, කැඳවීමේ හේතුව පැහැදිලි නොකිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවී ඇත.

2025 ජූලි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් SC FR 266/2023 තීන්දුව අනුව, පොලිස්පතිවරයා විසින් නිකුත් කළ විශේෂ මාර්ගෝපදේශ මගින් තහවුරු කර ඇත්තේ, පුද්ගලයෙකු පොලිසියට කැඳවීමේදී ඒ සඳහා වන නිශ්චිත හේතුව පැහැදිලි කිරීම පොලිසිය සතු අනිවාර්ය වගකීමක් බවයි.

එහෙත්, මෙම සිද්ධියේදී එම මාර්ගෝපදේශ නොසලකා හැර ඇති බවට චෝදනා මතුවී තිබේ.

ඒ අනුව පොලිසියට කැඳවීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයක් පවතින අතර ඒ යටතේ බලපවත්නා නීතීන්:

හේතුව පැහැදිලි කිරීම: ඔබව කැඳවන්නේ සැකකරුවෙකු ලෙසද, සාක්ෂිකරුවෙකු ලෙසද යන්න සහ ඒ සඳහා වන නිශ්චිත හේතුව පැහැදිලි කළ යුතුය.
චෝදනා දැනුම් දීම: සැකකරුවෙකු නම්, ඔබට එරෙහිව ඇති චෝදනා පැහැදිලිව සඳහන් කළ යුතුය.
සාක්ෂිකරුවෙකු නම්: විමර්ශනයේ ස්වභාවය සහ ඔබගේ ප්‍රකාශය වැදගත් වන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය.
දැනුම් දීමේ ක්‍රමය: දුරකථනයෙන් හෝ ලිඛිතව කැඳවීමක් කළද, අදාළ ස්ථානාධිපතිවරයා විසින් සම්පූර්ණ තොරතුරු ලබා දිය යුතුය.

Social Sharing
නවතම පුවත්