
රුසියාවේ මොස්කව් නගරයේ පැවැත්වෙන 48 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල (Moscow International Film Festival) නිළ වශයෙන් විවෘත කිරීමේ ගෞරවය ශ්‍රී ලාංකේය ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ වෙත හිමිවී තිබේ.
2026 අප්‍රේල් 16 දින පැවැති විවෘත කිරීමේ උත්සවයේදී, සිනමා උළෙලේ අන්තර්ගත ප්‍රධාන ජූරියේ සභාපති ධූරයට පත්වීම් ලබමින්, එම ධූරය දරන්නාට පමණක් හිමිවන ඓතිහාසික රන් ආලේපිත රිදී මාලය ගෙල පැළඳගනිමින් උළෙල විවෘත කිරීම සිදු කළේය.
ජාත්‍යන්තර සිනමා උළෙල ඉතිහාසය තුළ ලොව ප්රමුඛ පෙළේ සහ ලොව පැරණිතම සිනමා උළෙලක් ලෙස සැලකෙන මෙම මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල විවෘත කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමිවූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.
මොස්කව් උළෙලේ අතීතයේ සිට සම්ප්‍රදායානුකූලව ජූරි සභාපති විසින් පැළඳගන්නා මෙම රන් ආලේපිත රිදී මාලය, විශේෂ සංකේතාත්මක අර්ථයන් රැගත් පදක්කම් තුනකින් සමන්විත වේ. එම පදක්කම් තුළ මොස්කව්හි සුප්‍රකට ශාන්ත බැසිල් ආසන දෙව්මැදුර, ස්පාස්කායා කුළුණ සහ ශාන්ත ජෝර්ජ් ප්‍රතිමාව නිරූපණය කර ඇති අතර, ඒවා මඟින් බලය, ප්‍රඥාව සහ යුක්තිය යන මූලික අගයන් පිළිබිඹු වන බව සඳහන් වේ.
ප්‍රසන්න විතානගේ මහතා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රී ලාංකේය සිනමා අධ්යක්ෂකයෙකු වන අතර, ඔහුගේ සිනමා නිර්මාණ බොහෝමයක් ලොව පුරා සිනමා උළෙලවලදී ප්‍රදර්ශනය වී සම්මාන රැසක් දිනාගෙන තිබේ. මෙවර මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන ජූරියේ සභාපති ලෙස පත්වීම, ශ්‍රී ලංකා සිනමාවට ජාත්‍යන්තර මට්ටමින් ලැබුණු විශාල ගෞරවයක් ලෙස සැලකේ.
