පාකිස්තානයේ දරුවන් 331 දෙනෙකුට සිරිංජර් නැවත භාවිතයෙන් HIV ආසාදනය වීමක්!

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රජයේ රෝහලක මූලික සනීපාරක්ෂක නීති උල්ලංඝනය කරමින් වරක් භාවිත කළ සිරිංජර් නැවත භාවිතයට ගැනීම හේතුවෙන් දරුවන් 331 දෙනෙකුට HIV වෛරසය ආසාදනය වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්තයේ ටවුන්සා ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක සිදු කළ රහසිගත වීඩියෝ රූගත කිරීමකින් වෛද්‍ය කාර්ය මණ්ඩලය දරුවන්ට එක් සිරිංජරයක් නැවත නැවත භාවිත කරන ආකාරය අනාවරණය වී ඇත.

එම වීඩියෝ රූගත කිරීම පැය 32කට වැඩි කාලයක් පුරා සිදු කර ඇති අතර, රෝගීන් කිහිප දෙනෙකුටම එකම සිරිංජරයක් භාවිත කරන අවස්ථා රැසක් එහි පටිගත වී තිබූ බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත්, එවැනි සාක්ෂි තිබියදීත් රෝහලේ බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් වේ.
පාකිස්තානයේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, දරුවන් අතර HIV ආසාදනය ඉහළ යාම බරපතළ සෞඛ්‍ය අර්බුදයක් බව ඔවුන් පෙන්වා දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය සේවාවේ සනීපාරක්ෂක ප්‍රමිතීන් දැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධානය යොමුවී තිබේ.

Social Sharing
පුවත් විදෙස්