අර්බුදයෙන් මිදීමට නම් රාජ්‍ය ආදායමෙන් කොටසක් ජනතාවට දිය යුතුයි. – ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන


මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදකාරී තත්වයයෙන් මිදීමට නම් රජය මේ අවස්ථාවේදී ජනතාවට සත්‍යය තත්වය පැහැදිලි කළ යුතුව තිබෙන බව ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි.

එහිදී විශේෂයෙන්ම රට තුළ අභ්‍යන්තර ප්‍රතිපත්ති නැවත සකස් කළ යුතුව තිබෙන බවත්, ඒ හරහා රජයේ ආදායමෙන් කොටසක් නැවතත් ජනතාව වෙත ලබා දිය යුතුව තිබෙන බවත් ඒ මහතා අවධාරණය කරයි.

පසුගියදා පැවැත්වුණු අන්තර්ජාල වෙබිතාර් සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය විජේවර්ධන මහතා මෙම කරුණු සඳහන් කළේය. Daily FT පුවත්පත සහ ICCSL එක්ව මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.

රජය ජනතාවට ඇත්ත කියන්න වෙනවා. යුද්ධයේ අස්ථාවරත්වයක් සමගින් ඉහළ යන ඉන්ධන මිලට මේ අනුපාතය යටතේ සහනාධාර ලබා දීම දිගටම කරගෙන යන්න බැහැ.
ඒ නිසා ජනතාවට තමන්ගේ පටී තද කරගන්න කියන්න වෙනවා. මේ අර්බුදයෙන් වුණත් කලාපීය නාවික සහ ගුවන් මෙහෙයුම් මධ්‍ය ස්ථානයක් වැනි අවස්ථා උදාකරගන්න තැනක ලංකාව නැහැ. අපේ තරගකාරී ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සිදු කළ යුත්තේ අභ්‍යන්තරව සිදු කරන ප්‍රතිපත්ති නැවතසකස් කිරීම බවත්, එය අසීරු වුවත් අර්බුදයෙන් මිදීමට හොඳම ක්‍රමය එය බවත් විජේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“උදාහරණයක් විදියට ගත්තොත් රජය 2025 වසරේදී රැස් කරගත් ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් 16.7% ක ප්‍රතිශතයක් ගත්තා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂාව වුණු දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 15ට වඩා ඉහළයි. ඒ වගේම රටේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1ක අපේක්ෂාවක් තිබුණත් ශ්‍රී ලංකාව එය සියයට 5ක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා රජයට මේ මුදල්වලින් කොටසක් නැවතත් ජනතාවට ලබා දෙන්න මෙය හොඳ අවස්ථාවක්.”

උපුටා ගැනීම ලංකාදීප

 

 

Social Sharing
නවතම පුවත්