විදෙස් ලාංකිකයන්ට ඡන්දය දෙන්න පුළුවන්ද? කමිටු වාර්තාව කොමසාරිස්ට භාර දෙයි

​විදේශවල සිටින ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව, එම කමිටුව විසින් ඊයේ (27) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වෙත භාර දෙනු ලැබීය.

​වාර්තාව භාර දෙමින් අමාත්‍ය මණ්ඩලය මගින් පත්කළ කමිටුවේ සභාපති ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් (නීති) චාන්දනී විජේවර්ධන මහත්මිය සඳහන් කළේ මෙම කමිටුවට අදාළ වාර්තාව සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කළ බවයි. ​එම විශේෂඥ කමිටුවේ සහාය ද ඇතිව සකස් කළ මෙම වාර්තාව මගින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි ද ඇය කීවාය.

​මෙම වාර්තාව සකස් කිරීමේදී ජාත්‍යන්තර අත්දැකීම්, තාක්ෂණික ක්‍රමවේද, නීතිමය පසුබිම සහ ප්‍රායෝගික ගැටලු පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර ඇතැයි ද ඇය
පැවසුවාය. කමිටු වාර්තාව භාරගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියා සිටියේ මෙම වාර්තාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඉදිරි පියවර ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇති බවයි.

​විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කර අදහස් ලබා ගත් බව කමිටුව පවසයි.

එසේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර තිබූ බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ. ​මේ සඳහා පත්කළ විශේෂඥ කමිටුව විසින් අදාළ යෝජනා ඇතුළත් තාක්ෂණික ක්‍රමවේදයක් (Online) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ලියාපදිංචි වීමේ සිට ඡන්දය ප්‍රකාශ කිරීම දක්වා වන සමස්ත ක්‍රියාවලියම විද්‍යුත් ක්‍රමයට සිදුකිරීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වේ. ​මේ සඳහා අදාළ තාක්ෂණික ක්‍රමවේදය සකස් කිරීමේ වගකීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) පවරනු ලැබ ඇත.

අදාළ ක්‍රමවේදය සකස් කිරීමෙන් පසුව එය පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා කර තිබේ. එම කමිටුවේ නිර්දේශ අනුව අදාළ තාක්ෂණික ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිතය.

​මීට අමතරව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ද මෙම වාර්තාව මගින් යෝජනා කර ඇත.

සටහන රංජන් කස්තුරි

උපුටා ගැනීම ලංකාදීප

Social Sharing
නවතම පුවත්