සමාජ මාධ්‍ය අපරාධවලදී වින්දිතයෙකුගේ ආරක්ෂාව

වර්තමාන තාක්ෂණික යුගයේ සමාජ මාධ්‍ය භාවිතය පුද්ගල ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්ව තිබේ. Facebook, whatsapp, Instagram, Tik Tok වැනි මාධ්‍ය හරහා පුද්ගලයෝ සන්නිවේදනය, ව්‍යාපාර, අධ්‍යාපනය හා විනෝදාස්වාදය සඳහා විශාල ලෙස නිරත වෙති. එහෙත් මෙම පහසුකම් සමඟම සමාජ මාධ්‍ය අපරාධ (cyber crimes) ද වේගයෙන් වැඩිවෙමින් පවතින බව අසත්‍යයක් නොවේ.

සමාජ මාධ්‍ය භාවිතය නිවැරැදි ලෙස කළහොත් එය ප්‍රයෝජනවත් වුවද, අනිසි ලෙස භාවිතා කළහොත් පුද්ගලයන්ට හා සමාජයට බරපතළ හානි සිදු කළ හැක. විශේෂයෙන්ම අපහාස කිරීම, වංචා කිරීම, පෞද්ගලික තොරතුරු හෙළි කිරීම, වෛරී ප්‍රකාශ ලිංගික හිංසනය හා පෞද්ගලික තොරතුරු හෙළි කිරීම වැනි ක්‍රියා සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රධාන අපරාධ වේ.

සමාජ මාධ්‍ය අපරාධ (Social Media Crimes) යනු ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් සිදු කරන නීතිවිරෝධී ක්‍රියා වේ. මෙවැනි අපරාධ බොහෝ විට පුද්ගලයන්ගේ ගෞරවයට, ආරක්ෂාවට හා පෞද්ගලිකත්වයට බලපෑම් කරයි. මෙහිදී අපරාධකරු වින්දිතයා ඉලක්ක කර ගනිමින් විවිධ තාක්ෂණික උපක්‍රම සහ මානසික පීඩන එල්ල කරයි.

මෙවැනි අපරාධවල ප්‍රධාන වර්ග කිහිපයක් මෙසේ දැක්විය හැක.

සයිබර් හිරිහැර කිරීම් – පුද්ගලයකුට අපහාස කිරීම, ප්‍රසිද්ධියේ නින්දා කිරීම හෝ දිගින් දිගටම පණිවිඩ එවමින් මානසිකව පීඩා කිරීම.

මූලා වංචා – නිවසේ සිට මුදල් සෙවිය හැකි රැකියා, තෑගි දිනුම් හෝ අඩු මිළට භාණ්ඩ ලබා දෙන බව පවසා බැංකු තොරතුරු ලබා ගැනීම හෝ මුදල් වංචා කිරීම.

ව්‍යාජ ගිණුම් සැකසීම –  වෙනත් අයකුගේ නම සහ ඡායා රූප භාවිත කර ව්‍යාජ ගිණුම් සාදා එම පුද්ගලයාගේ ප්‍රතිරූපයට හානි කිරීම හෝ එමගින් වෙනත් අය රවටා මුදල් ලබා ගැනීම.

ගිණුම් පැහැර ගැනීම – වෙනත් අයකුගේ සමාජ මාධ්‍ය ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී එහි පාලනය නතු කර ගැනීම.

අසත්‍ය තොරතුරු ප්‍රචාරය – සමාජය නොමග යවනසුලු හෝ ජාතීන් අතර අසමගිය ඇති කරන අසත්‍ය ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය හරහා පැතිර වීම. මෙවැනි ක්‍රියා සමාජයේ සාමය හා ආරක්ෂාවට විශාල අභියෝගයක් වේ.

වින්දිතයන් ගත යුතු ක්‍රියාමාර්ග.

සමාජ මාධ්‍ය අපරාධයකින් වින්දිතයකු වූ විට, ඔබ කලබල නොවී බුද්ධිමත්ව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වේ.

පහත පියවර ඒ අනුව ඉතා වැදගත් වේ

සාක්ෂි රැස් කිරීම – සියලුම පණිවිඩ ඡායා රූප, වීඩියෝ Profile Link tl Screenshot fyda Screen Record කර සුරක්ෂිතව තබා ගන්න.

සන්නිවේදනය නතර කිරීම – අපරාධකරු සමග ත වදුරටත් වාද කිරීමට හෝ ඔවුන් ඉල්ලන මුදල් අල්ලස් ලබා දීමට උත්සාහ නොකරන්න. එය ඔවුන්ව තවදුරටත් උනන්දු කරවීම වැළැක්වීමට මග පාදයි.

සමාජ මාධ්‍ය වාර්තා කිරීම – අදාළ සමාජ මාධ්‍ය (Facebook, Whatsapp, Instagram) පිළිබඳව වහාම වාර්තා කරන්න.

නීතිමය ක‍්‍රියාමාර්ග සහ පැමිණිලි කිරීම – ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ පනත සහ 2024 අංක 09 දරන මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත යටතේ මෙවැනි ක්‍රියා දඬුවම් ලැබිය හැකි වැරැදි වේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (අන්තර්ජාලය හරහා වෙබ් අඩවිය මගින්) සහ ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම කළ හැක. තවද මුදල් වංචාවක් සිදු වී ඇත්නම් වහාම ඔබගේ බැංකුවට දැනුම් දී ගිණුම තාවකාලිකව අතිහිටුවීමට පියවර ගැනීම වැදගත්ය. එමෙන්ම ඔබගේ ගිණුම හැක් වී ඇති බවට සැකයක් ඇත්නම් වහාම මුර පද වෙනස්කර ආරක්ෂක පියවර ගැනීම ඉතාමත් යෝග්‍ය වේ.

පෞද්ගලික හා ඩිජිටල් ආරක්ෂාව වින්දිතයන් හා සාමාන්‍ය පුරවැසියන් ගත යුතු ආරක්ෂණ ක්‍රියා මාර්ග

  1. ශක්තිමත් මුරපද භාවිත කිරීම
  2. අවදානම් ලින්ක් භාවිත නොකිරීම
  3. පෞද්ගලික තොරතුරු හුවමාරු නොකිරීම පෞද්ගලික රහස්‍යභාවය යාවත්කාලීන කිරීම

සමාජ මාධ්‍ය අපරාධ යනු නව යුගයේ විශාල අභියෝගයක් වන අතර එය පාලනය කිරීම සඳහා නීතිය සමාජය හා පුද්ගලයා එක්ව ක්‍රියා කළ යුතුය. වින්දිතයන් විසින් ඉක්මනින් ක්‍රියාමාර්ග ගනිමින් සාක්ෂි රැස්කර, පොලිසියට පැමිණිලි කර නීතිමය ආරක්ෂාව ලබා ගැනීම මගින් තම අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැක.

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අපරාධ වලට ලක්වීම පිළිබඳව සලකා බලන විට පරිශීලකයන්, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සියල්ලන්ටම පෙනෙන සේ සිය ඡායාරූප ඇතුළත් කිරීම, සමාජ මාධ්‍යයේ වැඩි කාලයක් ගත කිරීම, පවුල් සංස්ථාවෙන් හුදකලාව දැඩිව සමාජ මාධ්‍ය ජාලයේ සැරි සැරීම, ඡායාරූප හා වීඩියෝ අනවශ්‍ය ප්‍රමාණවලින් සමාජ මාධ්‍ය වලට මුදා හැරීම, මිතුරන් විශාල පිරිසක් ඇසුරු කිරීම, සමාජමාධ්‍ය හරහා නිවැරැදිව අනන්‍යතාව හෙළි නොකිරීම, තෑගි ලබා දෙනවා යැයි පැවසෙන සමාජ ජාලාවල ප්‍රචාරය කරන දැන්වීම් වලට ප්‍රතිචාර දැක්වීම, ඩිජිටල් සාක්ෂරතාවක් නොපැවතීම, සමාජ මාධ්‍ය හරහා පැමිණෙන ලින්ක් විවෘත කිරීම ආදී ක්‍රියා හේතු වන බව පෙනේ.

සමාජ මාධ්‍ය පරිශීලනය කරන සැමට දිය හැකි වැදගත්ම උපදෙස වන්නේ ඩිජිටල් බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමයි. තාක්ෂණය අපගේ ජීවිත පහසු කළත්, එක නොසැලකිළිමත් පියවරක් මුළු ජීවිතයම අවුල් කිරීමට ඉඩ ඇත. එබැවින්,

සෑම දෙයක්ම විශ්වාස නොකරන්න. අන්තර්ජාලයේ ඔබ දකින සෑම ඡායාරූපයක්ම, වීඩියෝවක්ම හෝ ප්‍රවෘත්තියක්ම සත්‍ය නොවේ. යමක් බෙදා ගැනීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව දෙවරක් පරීක්ෂා කරන්න.

ඔබේ පෞද්ගලිකත්වය ඔබේ අතේ – ඔබ අද දමන පෝස්ට් එකක් හෝ ඡායාරූපයක් අනාගතයේ දී ඔබට එරෙහිව භාවිත විය හැක. පෞද්ගලික ජීවිතයේ සංවේදී තොරතුරු හා රහස්‍ය දෑ කිසිවිටකත් සමාජ මාධ්‍යට මුදා නොහරින්න.

අපරාධ වලට එරෙහිව නිහඬ නොවන්න. ඔබ යම් සයිබර් අපරාධයකට හෝ හිංසනයකට ලක් වන්නේ නම් ලජ්ජාව හෝ බිය නිසා එය සඟවා නොසිටින්න. වහාම නීතියේ සහාය පතන්න. ඔබ නිහඩ වීම අපරාධකරුට තවත් ශක්තියක් වේ.

ඔබ අන්තර්ජාලයට එක් කරන ඕනෑම දෙයක් සදාකාලිකවම එහි රැඳී තිබිය හැක. අනාගතයේ දී රැකියාවකට හෝ පෞද්ගලික ජීවිතයට ඉන් බලපෑමක් වේ දැයි පළකිරීමට පෙර සිතන්න. යමෙකුගේ මුහුණට පැවසීමට අපහසු හෝ අශෝබන දෙයක් කිසිවිටකත් පණිවිඩයක් හෝ සටහනක් ලෙස සමාජ මාධ්‍යට එක් නොකරන්න ඩිජිටල් අවකාශය තුළත් මනුෂ්‍යත්වය සහ විනය පවත්වා ගන්න.

පොදු ස්ථානවල ඇති Wi – Fi හරහා ඔබගේ බැංකු ගිණුම් වලට හෝ සංවේදී සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇතුළු වීමෙන් වළකින්න. එවැනි ජාල හරහා දත්තසොරා ගැනීම වැඩිය. දරුවන්ගේ ඡායාරූප, ඔවුන් යන එන ස්ථාන සහ පාසල් නිල ඇඳුම සහිත ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්න. එය දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැක. ඔබ සිටින ස්ථානය සජීවිව දැක්වෙන සේ පෝස්ට් දැමීමෙන් සොරකම් හෝ වෙනත් අනතුරු සිදු විය හැක.

ඔබ කලකට පෙර භාවිත කළ, දැනට භාවිත නොකරන ගිණුම් ඇත්නම් ඒවා මකා දවන්න. එමෙන්ම ඔබ නොහඳුනන හෝ සැක සහිත පුද්ගලයන් මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරන්න. ඔබට ලොතරැයියක් ඇදුණා. නොමිලේ Iphone එකක් දිනා ගන්න වැනි පණිවිඩ වල ඇති ලින්ක් කිසි විටකත් ක්ලික් නොකරන්න. ඒවා බොහෝ විට ඔබගේ දත්ත සොරා ගැනීමට අටවන ලද උගුල් විය හැක.

අන් අයගේ ඡායාරූප ඔවුන්ගේ අවසරයකින් තොරව පළ කිරීම හෝ විකෘති කිරීම ශ්‍රී ලංකාවේ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව සැම විටම මතක තබා ගන්න. ඔබේ ඩිජිටල් නිදහස ආරක්ෂා කර ගත හැක්කේ ඔබේම අවධානය සහ බුද්ධිමත් තීරණ මත පමණි. බුද්ධිමත් ලෙස තාක්ෂණය භාවිතකරමු. ආරක්ෂිත සමාජයක් ගොඩ නගමු.

සටහන – නීතීඥ මිටිලා මනෝජ්

උපුටා ගැනීම ලංකාදීප

Social Sharing
නවතම පුවත්