උතුරු හා නැගෙනගිර පළාත්වල කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ කනස්සල්ල

 

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් (WHRDs) මුහුණ දෙන අඛණ්ඩ හිරිහැර සහ බිය ගැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා වෙත සිය කනස්සල්ල පළ කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ 2009 වසරේ සිවිල් ගැටුම අවසන් වීමෙන් අනතුරුව, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන් මුහුණ දෙන දිගුකාලීන ගැටළු විසඳීම සඳහා මෙම කලාපවල කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි.

එම කාර්යයන් අතර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඉඩම් ආරවුල්, හිටපු සටන්කරුවන් මුහුණ දෙන අභියෝග, කාන්තා මූලික පවුල්වල ජීවන ගැටළු සහ ප්‍රජා සහභාගීත්වය හරහා ජීවනෝපාය සංවර්ධනය, සමාජ සේවා සහ සාමකාමී විරෝධතා සම්බන්ධයෙන් පෙනී සිටීම ඇතුළත් බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම කාන්තා ක්‍රියාකාරීන් ඔවුන්ගේ කාර්යයට බාධා වන සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට ලබා දෙන සහයෝගය අඩපණ කරන බරපතල අභියෝගවලට අඛණ්ඩව මුහුණ දෙන බව කොමිසම අවධාරණය කළේය.

මෙම අභියෝග අතර ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, සංස්කෘතික හා සමාජීය අපකීර්තිය, සීමිත සම්පත් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් අයුතු ලෙස සැලකීමේ අවස්ථා ඇතුළත් වන බව ද සඳහන් වේ.

මානව හිමිකම් ආරක්ෂකයින් ආරක්ෂා කිරීම පිළිබඳ 2024 අංක 1 දරන පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මෙම ප්‍රකාශය මගින් ශක්තිමත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළ අතර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් මානව හිමිකම් ආරක්ෂකයින්ට සැලකීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් සමඟ සෘජු සම්බන්ධතා, ක්ෂේත්‍ර චාරිකා, පාර්ශවකරුවන්ගේ උපදේශන සහ ලැබුණු විධිමත් පැමිණිලි මත පදනම්ව, 2025 වසර තුළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) සහ ත්‍රස්ත විරෝධී සහ විමර්ශන අංශය (CTID) විසින් සිදු කරන මැදිහත්වීම්වල වර්ධනයක් වාර්තා වී ඇති බවද කොමිසම සඳහන් කරයි.

මෙම වාර්තා වූ සිදුවීම් මගින් සිතීමේ නිදහස, හෘද සාක්ෂිය, ආගම, ප්‍රකාශනය, සාමකාමී රැස්වීම සහ නීත්‍යානුකූල රැකියාව ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පෙන්නුම් කරන බව ද කොමිසම සඳහන් කරයි.

මෙම ගැටළු සම්බන්ධයෙන් වහාම පියවර ගනිමින් කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන ලෙස කොමිසම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර, එමඟින් ඔවුන්ට හිරිහැර හෝ බියෙන් තොරව ඔවුන්ගේ වැදගත් කාර්යය අඛණ්ඩව ඉටු කිරීමට හැකි වනු ඇතැයි ද සඳහන් කර ඇත.

Social Sharing
නවතම පුවත්