
අපරාධ වැළැක්වීම සහ සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසිය වෙත පැවරී ඇති මූලික රාජකාරි අතර සුවිශේෂී කාර්යභාරයක් වන බව නීතිමය විශ්ලේෂණයකදී අවධාරණය කර ඇත.
පොලිස් ආඥා පනතට අනුව, අපරාධයක් සම්බන්ධයෙන් මුල් පැමිණිල්ල සටහන් කර පරීක්ෂණ පවත්වා නඩු පැවරීම පමණක් නොව, එම නඩු අධිකරණයේදී සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම ද පොලිසියට අයත් මූලික වගකීමක් වන බව එහිදී පෙන්වා දී ඇත.
මෙහිදී, නඩු ඔප්පු කිරීමේ හැකියාව අඩාල වීමට හේතු වන කරුණු ලෙස නිසි සූදානමකින් තොරව කටයුතු කිරීම, අපරික්ෂාකාරීව ක්‍රියා කිරීම සහ නිසි උනන්දුවකින් තොරව කටයුතු කිරීම වැනි තත්වයන් හඳුනාගත හැකි බවද සඳහන් කර ඇත. එවැනි අවස්ථාවන් හේතුවෙන් චූදිතයන් නිදොස් වීමේ අවදානම ඉහළ යා හැකි බවද පෙන්වා දී තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් ගරු අධිකරණ තීන්දුවක් ලෙස නීතිපති එදිරිව සන්දානම් පිච්චි මේරි තෙරේසා (SCFR 79/2008) නඩු තීන්දුව විශේෂ වැදගත්කමක් ලබා ගන්නා බවද සඳහන් කර ඇත. එම නඩුවේදී ගරු ශිරාණි තිලකවර්ධන විනිසුරුතුමිය ප්‍රකාශ කර ඇත්තේ, පොලිස් නිලධාරීන් අනෙකුත් සාක්ෂිකරුවන්ට වඩා පුහුණුව සහ අත්දැකීම් ඇති නිසා වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බවත්, ඔවුන්ගේ සාක්ෂිවල විශ්වාසනීයත්වය එම කරුණු මත තීරණය කළ යුතු බවත්ය.
තවද, පොලිස් නිලධාරීන් විසින් අධිකරණයේදී සාක්ෂි ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් 2025 දෙසැම්බර් 25 දිනැති CRTM-522 / RTM-712 පණිවුඩය මගින් සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වේ.
අවසාන වශයෙන්, අපරාධ විසඳීමේ ප්‍රතිශතය ඉහළ නැංවීම හා අධිකරණයේදී චූදිතයන් වරදකරුවන් බවට පත් කිරීමේ ප්‍රතිශතය වැඩි කිරීමට, ගරු අධිකරණයට සහාය වන අයුරින් නිසි නෛතික ක්‍රියාපටිපාටි අනුගමනය කර සාක්ෂි ඉදිරිපත් කිරීම පොලිස් නිලධාරීන්ගේ බැහැර කළ නොහැකි වගකීමක් බව නීතිමය විශ්ලේෂණයේදී අවධාරණය කර ඇත.
සැකසුම: පොලිස් පරීක්ෂක, නීතිඥ ඩිලාන් කුමාර
