
තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවට අදාලව, හිටපු නාවික හමුදාපති සහ හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න මහතා නැවත චුදිතයකු ලෙස නඩුවට ඇතුළත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබේ.
මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් වූ ලුතිනල් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි නාවික හමුදා නිවාසනයක් තුළ ආරක්ෂාව ලබා දෙමින්, ඔහුට රටින් පලා යාමට පහසුකම් සලස්වා දුන් බවට හිටපු නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
මීට පෙර, නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් මත හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කර තිබුණි. එම නියෝගයට එරෙහිව අගතියට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දීර්ඝ ලෙස විමසීමක් සිදු කළේය.
ඒ අනුව, අද දින තීන්දුව ප්‍රකාශයට පත් කළ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දී තිබූ නියෝගය දෝෂ සහගත බවට නිගමනය කළේය.
එමෙන්ම, රවින්ද්‍ර විජේගුණරත්න මහතා නැවත චුදිතයකු ලෙස නඩුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව චෝදනා පත්‍ර හා පැමිණිලි ගොනු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර ඇත.
තවද, නීතිපතිවරයාට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් වීමට ඇති වගකීම පිළිබඳවද විවෘත අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළ බව වාර්තා වේ.
උපුටා ගැනීම අචලා සෙනවිරත්න
