
රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසි දෙදෙනා දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කර තිබේ.
සැකකාර චීවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (26) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුණු බවට චෝදනා එල්ලව ඇති භික්ෂු ප්‍රතිරූපකයින්ගේ ක්‍රියාව තරයේ හෙළා දකිමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ, උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනය සහ ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භූමිකාව සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් වන ආකාරයෙන් සිදු කළ මෙම ක්‍රියාව ශාසන විරෝධී, සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවයි.
තවද, ලාංකේය සමාජය තුළ භික්ෂුන් වහන්සේලාට හිමි සාම්ප්‍රදායික ගෞරවය සහ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශුද්ධාධ්‍යාශයන් අවභාවිත කරමින් සිදු කළ මෙම ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින්ට නීතිය අනුව දැඩි දඬුවම් ලබා දිය යුතු බව ද මහානාහිමිවරු අවධාරණය කර තිබේ.
එමෙන්ම මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදු කරන භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳ ඉදිරියේදී විමර්ශන සිදු කර, අවශ්‍ය නම් සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සම්පාදනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත් විය යුතු බව ද ඔවුන් පෙන්වා දී ඇත.
එමෙන්ම සංවිධානාත්මකව තරුණ භික්ෂූන් මෙවැනි නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල සහ බෙදාහරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අංශ වැඩි අවධානය යොමු කළ යුතු බව ද එම නිවේදනයේ අවධාරණය කර ඇත.
තවද, සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරමින්, ශාසන විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන බවට සැකයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කරුණු සොයාබලා, එවැනි භික්ෂූන් සංවරයෙහි පිහිටුවීමට ආචාර්ය වහන්සේලා නිරන්තරයෙන් ක්‍රියා කළ යුතු බව ද ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එම නිවේදනය පහතින්

