
රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් 22 දෙදෙනා යොදාගනිමින් එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ව්‍යාපාරිකයකු බව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් මේවන විට අනාවරණ වී ඇත.
වාර්තාවන අන්දමට එම චීවරධාරීන් අදාළ විදෙස් සංචාරයේ නිරතව ඇත්තේ මහා නා හිමිවරුන්ගේ අවසරයක් නොමැති බවයි.
ඒ අනුව පෙරදී භික්ෂුවකට විදෙස් සංචාරයක් සඳහා මහ නා හිමිවරුන්ගෙන් ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය කරතිබූ නීතිය ඉවත් කිරීමට රජය ගත් තීරණය වහාම යළි වෙනස් කරන්නැයි භික්ෂූන්වහන්සේ ඉල්ලා සිටියි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ගාමීණී සේනාරත්න මහතා ඒ පිළිබඳ පැවසුවේ එම අවසරය ලබාගැනීමේ ක්‍රමවේදය අත්හිටුවා ඇත්තේ කෙටි කාලයකට බවය.
අත්හිටුවූ එම ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන්නැයි මහ නා හිමිවරුන් නැවත ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව එම ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.
තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු පසුගිය 25 වනදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගිනි. මේ අයුරින් චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.
සංචාරය අතරතුර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් අනුග්‍රාහකයන් ලබාදුන් බවත් ඒ වෙනුවෙන් පාසල් සිසුන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළත් මෙම ගමන් මලු මෙරටට රැගෙන එන ලෙස තමන්ව සම්බන්ධීකරණය කළ චීවරධාරීන් පැවසූ බවද මෙම පිරිස අනාවරණ කර ඇත. අත්අඩංගුවට ගන්නා ලද චීවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට 26 වන දා පස්වරුවේ ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකාර චීවරධාරින් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.
ඒ අනුව චීවරධාරින් පිරිස මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් ඇති අතර එහිදී ඔවුන් අනාවරණ කර ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ව්‍යාපාරිකයෙකු බවය. එසේම සැකකාර චීවරධාරින් පිරිසගේ ජංගම දුරකථන ද විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.
ජාවාරම මෙහෙයවූ පුද්ගලයා සම්බන්ධයෙන් එම දුරකථන ඔස්සේ තොරතුරු අනාවරණ කරගැනීමට උත්සාහ දරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළ අතර මෙම චීවරධාරීන් පිරිස මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ද ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ප්‍රධාන චීවරධාරියා විමර්ශන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා විමර්ශන නිලධාරින්ට සහාය නොදෙන බවත්, නිසි පරිදී ප්‍රකාශ ලබා නොදෙන බවත් වාර්තා වේ. තවද මෙම චීවරධාරින් පිරිස ඊයේ (27) පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද යොමු කර ඇත.
මේ අතර මෙම පිරිස අතර සිටි ඉඳුරුව ප්‍රදේශයේ චීවරධාරියෙකුට අද එම ප්‍රදේශවාසින් සිය විරෝධය පළකර තිබුණි.
උපුටා ගැනීම දෙරණ
