වතු කම්කරුවන් වසර 60 ක් සටන් කලේ පුරවැසි අයිතිය ඉල්ලමින් – හි.පා.ම. එම්. තිලකරාජ්

මෙරට වතු ජනතාව වසර 60 ක්ම සිය ජවය කැප කළේ මෙරට පුරවැසිභාවය ලබාගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා පවසයි.

1815-1820 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී කුලී කම්කරුවන් ලෙස මෙරටට ගෙන එන ලද වතු කම්කරුවන් එදා සිටම වදහිංසනයට ලක් වු බවත් මෙහි ප්‍රධාන ලෙස වගකිව යුත්තේ එවකට සිටි බ්‍රිතාන්‍ය පාලකයින් බවද ඒ මහතා පවසයි.

1931 දි මෙරට ජනතාවට සර්වබල ඡන්ද අයිතිවාසිකම ලබා දුන්නද ලංකාව නිදහස දිනාගත් 1948 දී මේ වතු කම්කරුවන් දෙවන වරටත් වදහිංසනයට ලක් වු බව ඔහු පෙන්වා දෙයි. ඒ 1948 පැවති ස්වදේශි පළමු ඡන්දයෙන්ම මේ රටේ ඉන්දියානු සම්භවය ඇති අය හැර අනෙක් අය සියලු දෙනා ලාංකිකයෝ ලෙස හැඳින්වීමය.

මෙහිදි වතු ජනතාව ලෙස වෙන් කළා මිස මොවුන්ව ගම්සභාට ඇතුලත් කර ප්‍රජා අයිතියක් ලබා දීමට කටයුතු නොකෙරුණු බව තිලකරාජ් මහතා පෙන්වා දෙයි.

එදා සිට 2009 දක්වා වසර හැටක් යනතුරුම මේ වතු ජනතාව සටන් කළේ තමන්ට පුරවැසිභාවය ලබා ගැනීමට බවත් ඒ අනුව ඔවුන්ට පුරවැසිභාවය හිමි වුවද තවමත් ඊට අදාල පනත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවද හෙතෙම සඳහන් කරයි.

ඒ මහතා පවසන්නේ මෙම ජන කොටසද ගම්සභා කියන අන්තර් පාලන ක්‍රමයට ඇතුලත් කරගෙන මේ ජන කොටස් තවමත් පෙලෙන වදහිසංනයෙන් පිටතට ගත යුතු බවය.  එසේම ඔවුන්ගේ නීතිමය ප්‍රශ්න විසඳා ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් ලංකාවේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් මොවුන්ටද ලබා දිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ වතු කම්කරු ප්‍රජාව මුහුණ දෙන වදහිංසනාත්මක ගැටලු  මැයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධනයේ  නුවරඑළිය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සාකච්ඡාවකදීය.

මෙය වදහිසංනයට ලක් වුවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව සංවිධානය කර තිබුණේ නුවරඑළිය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක ඒ.සේලවරාජ් මහතා ඇතුලු මානව හිමිකම් ආරක්ෂකයින් විසිනි.

මෙහිදි ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු, නීතිඥ දුලාන් දසනායක, පිලිප් දිසානායක යන අය විසින්ද අදහස් දැක්වුහ.

සුම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව සිංහල භාෂාවෙන් මෙහෙයවීම නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා විසින්ද දමිල බසින් මෙහෙයවිම ඒ.සේලවරාජ් මහතා විසින්ද සිදු කෙරුණි.

ශානි

Social Sharing
නවතම