
දශක තුනකට වැඩි කාලයකට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඊයේ (14) වොෂින්ටන් ඩීසි හිදී පැවැත්වී ඇත.
මෙම සාකච්ඡා සඳහා මැදිහත්ව කටයුතු කළ එක්සත් ජනපදය හි රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ බලපෑම අවසන් කිරීම සඳහා මෙම සාකච්ඡා ඓතිහාසික අවස්ථාවක් බවයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මීට පෙර පවත්වා ඇත්තේ 1993 වර්ෂයේදීය. එතැන් පටන් දෙරට අතර සෘජු රාජ්‍ය තාන්ත්‍රික සංවාද සිදු නොවූ බව සඳහන් වේ.
ඊට අමතරව, එක්සත් ජනපදය විසින් ඉරානය වෙත ප්‍රහාර ආරම්භ කිරීමෙන් දින කිහිපයකට පසුව, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ගැටුම් තත්ත්වය උත්සන්න වී තිබේ.
එම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 6,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡා මඟින් දෙරට අතර ආරක්ෂක හා දේශපාලනික ආතතිය අඩු කිරීම සඳහා නව පියවර ගත හැකි බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
