පොලිස් අත්අඩංගුවේදී මියගිය ගයාන් පුෂ්පකුමාරගේ මරණය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

මුදල් සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, පසුව රෝගාතුරව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වසර 05කට පසුව විභාගයට ගැනීමට අද දින (29) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

මෙලෙස මිය යන ලද්දේ පූගොඩ, මණ්ඩාවල කන්ද ප්‍රදේශයේ පදිංචි වීසි එක් හැවිරිදි ගයාන් පුෂ්පකුමාර නම් තරුණයෙක් වන අතර ඔහු බිම්මල් වගාකරන්නෙකු මෙන්ම එයට අමතරව කුලී වැඩවලද නිරතව සිටි අයෙකි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ගයාන් පුෂ්පකුමාරගේ බිරිඳ සදුනි වාසනා මහත්මිය විසින් 2021 වසරේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අතර, එම පෙත්සම විභාගයට ගැනීමට අද (ජනවාරි 29) දින ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) සහ 13(1) වගන්ති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පළමු හා දෙවන විත්තිකරුවන් වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩුව විභාගයට ගැනීමටත්, 12(1) වගන්තිය උල්ලංඝනය කළ බවට රජයට එරෙහිව නඩුව විභාගයට ගැනීමටත් අධිකරණය අවසර ලබාදී ඇත.

මෙම නඩුව සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නීති ආධාර ලබාදී ඇති අතර, පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක මහතාගේ උපදෙස් මත නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ දයානි පණ්ඩිතරත්න මහත්මිය අධිකරණයේ පෙනී සිට ඇත.

2021 වසරේ ජුලි 11 දින මණ්ඩාවල ප්‍රදේශයේ නිවසක සිමෙන්ති ගල් බෑමක් සකසමින් සිටියදී, එම නිවසේ යතුරුපැදියක බෑගයක් තුළ තිබූ මුදලක් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් සිදු වී ඇත. ඒ අනුව ගයාන් පුෂ්පකුමාර සම්බන්ධයෙන් සැක පළ කරමින්, ඔහුට පහරදී මුදල් පිළිබඳ විමසා ඇති අතර ඉන් අනතුරුව පූගොඩ පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ උදරයට පා පහරවල් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වමනය කර ඇති බවත් මියගිය තරුණයාගේ බිරිඳ හා මව ප්‍රකාශ කර ඇත. ඔහුගෙන් ප්‍රශ්න කරන සෑම අවස්තාවකදීම තමන් මුදල් සොරකම් නොකළ බව ගයාන් පවසා ඇති බවද ඔවුන් කියා සිටියේ ය. පොලිස් අත්අඩංගුවට පත් කිරීමෙන් පසු ඔහු බැලීමට ඥාතීන්ට ඉඩ ලබා නොදුන් බවත්, පසුව ඔහු සිරමැදිරියේදි රෝගාතුරව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලේදි මියගිය ගොස් ඇත.

 

Social Sharing
නවතම පුවත්