වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,750 දක්වා ඉහළ නංවන ගිවිසුමට අද අත්සන් තැබේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ ගිවිසුම්ගත වීම අද  (30) දින සිදු කිරීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව, වැවිලි කර්මාන්තයේ සේවය කරන කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ අවසන් එකඟතාවයකට පැමිණීමට මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව අමාත්‍යංශය සඳහන් කළේය.

2026 වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරු ප්‍රජාවගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

ඒ අනුව, වත්මන් රුපියල් 1,350ක් වූ මූලික වැටුප රුපියල් 1,550ක් දක්වා වැඩි කිරීමටත්, පැමිණීමේ දීමනාව ලෙස රජය විසින් අතිරේක රුපියල් 200ක් ගෙවීමටත් තීරණය කර ඇත. එමඟින් කම්කරුවකුට දිනකට ලැබෙන මුළු වැටුප රුපියල් 1,750ක් වනු ඇත.

මෙම වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා 2026 අයවැය තුළින් රුපියල් මිලියන 5,000ක මුදලක් වෙන් කර ඇති බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

වතු කම්කරු ප්‍රජාව දිගු කාලයක සිට ඉල්ලීම් කරමින් සිටි මෙම වැටුප් වැඩි කිරීම ඔවුන්ගේ ජීවන වියදම් පීඩනය අවම කරගැනීමට සහ සමාජ ආර්ථික තත්ත්වය උසස් කරගැනීමට වැදගත් පියවරක් බවත්, මෙම තීරණය මඟින් වැවිලි කර්මාන්තයේ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය වඩාත් ශක්තිමත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යංශය අවධාරණය කරයි.

Social Sharing
නවතම පුවත්