
ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ලිංගික අපයෝජන තවදුරටත් බරපතළ මානව අයිතිවාසිකම් ගැටලුවක් ලෙස පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කළ නවතම දත්ත මගින් අනාවරණය වෙයි.
2025 වර්ෂය තුළ පමණක් ළමා අපයෝජන සහ දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධ පැමිණිලි 10,455ක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව පසුගිය වසරවලට සාපේක්ෂව දැඩි වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම පැමිණිලි අතර ස්ත්‍රී දූෂණ, බරපතළ ලිංගික අපයෝජන, අසභ්‍ය ප්‍රකාශන සහ නිරුවත් ඡායාරූප යොදාගනිමින් සිදුකරන සයිබර් හිංසන (Cyber Bullying) ප්‍රධාන වේ.
වඩාත් කම්පන සහගත කරුණ වන්නේ 2024 වසරේදී ළමා ස්ත්‍රී දූෂණ සිද්ධීන් 42ක් ලෙස වාර්තා වූ අතර, 2025 වසරේදී එම සංඛ්‍යාව 93ක් දක්වා දෙගුණයකට ආසන්න ලෙස ඉහළ ගොස් තිබීමයි. එයට අමතරව බරපතළ ලිංගික අපයෝජන පැමිණිලි 231ක්, අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ සිද්ධීන් 64ක් සහ ළමුන්ට එරෙහි සයිබර් හිංසන පැමිණිලි 150ක් ද වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ වැඩිම ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,423කි. ගම්පහ දිස්ත්‍රික්කය 1,167ක් සමඟ දෙවන ස්ථානයට පත්ව ඇත. මෙම දත්ත නගරීය හා අර්ධ නගරීය ප්‍රදේශවල දරුවන් විශේෂයෙන් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවට බරපතළ අනතුරු ඇඟවීමක් ලෙස සලකිය හැක.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙන්නේ, දරුවන්ට එරෙහි අපයෝජන සම්බන්ධයෙන් බලධාරීන් වහාම ක්‍රියාත්මක වී වැරදිකරුවන්ට නීතිමය දඬුවම් ලබා දිය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව, සෑම දරුවෙකුටම ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් වීමේ අයිතිය හිමි වන අතර, අපයෝජනවලට ගොදුරු වන දරුවන්ට මානසික හා කායික පුනරුත්ථාපන සහාය ලබාදීම රජයේ අනිවාර්ය වගකීමක් බව UNICEF ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.
