
අපේ රටේ පවුල්වලින් 83%ක් යාචක මානසිකත්වයෙන් පෙළෙන බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 52ක් ඇති බව සදහන් වෙන බවත් මින් පවුල් ලක්ෂ 43ක් අස්වැසුම සහනාධාරය ඉල්ලා තිබෙන බවද ඇමැති උපාලි පන්නිලගේ මහතා කියා සිටියේය.
‘අවශ්‍යතාව නෙවෙයි, පුදුම මානසිකත්වයකින් පෙළෙනවා ආධාර ලබාගන්න ඕනෑ කියලා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි, මානසික වශයෙනුත් අපි ඉතා බරපතළ ලෙස දිළිඳුයි’ යැයිද ඇමැතිවරයා පවසා තිබුනි.
මේ අතර ලෝක බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය සියයට 24.9 දක්වා ඉහළ ගොස් ඇති බව පවසයි. එමෙන්ම, ජනගහනයෙන් තවත් සියයට 10 ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නව බවත් එහි සඳහන් වේ.
ලෝක බැංකුව විසින් පසුගිය දා නිකුත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම’ නම් වූ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.
