විදුලි අර්බුදය සහ රජයේ කාර්යභාරය – කීර්ති ගොඩිගමුව

LNG සැපයුම සහ එහි යටිතල පහසුකම් NEW Fortress Energy නම් අමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරනයත් සමඟම මතුවී ඇති විදුලි සේවක විරෝධතා සමඟ විදුලි අර්බුදය පිලිබඳ කතාබහ නැවතත් කරලියට පැමිණ ඇත. නොඒසේ නම් මෙම අර්බුදය එන වසරේ පෙබරවාරි මාසය පමන වන විට සිදු වන ජල විදුලි නිෂ්පාදනයේ පහත වැටීම හා සමගාමිව වැඩි වන තාප විදුලි ජනනය සඳහා අවශ්‍යවන ඉන්ධන වෙනුවෙන් වැය කල යුතු ඩොලර් හිඟවීම හරහා කරලියට ඒමට නියමිතව තිබුනි.

දැන් පැමින ඇති ප්‍රශ්නය සහ ඉදිරියේ දී මුහුන දීමට ඇති තත්වය මින් පෙර අවස්ථාවන්ට වෙනස්වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ අද වන විට මෙම ප්‍රශ්න තවදුරටත් කල්දැමිය හැකි තත්වයක නොමැති හෙයිනි. එනම් මෙතෙක් වලංගු වූ පැලැස්තර විසඳුම් වලින මෙම ප්‍රශ්නයෙන් ගැලවී පලායන තත්වයක ආණ්ඩුව නොපැවතීමයි. මින් පෙර අවස්ථාවලදී මෙම ප්‍රශ්න අවසන්වූයේ අමතර තාප විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම වැනි විසඳුම් වුවත් මේ අවස්ථාවේ එක් අතකින් ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විනිමය හිඟයකින් පීඩා විඳින අතර අනිත් අතින් විදුලිය විකිණීමෙන් ලැබිය යුතු ආදායම වැඩිවීමක් නොමැතිකම හරහා විදුලි නිෂ්පාදකයන්ට ගෙවීම් කිරීමට අපහසු වීම හරහාත් තත්වය උග්‍ර අතට හැරී ඇත.

මෙහි පලමු කරුන එනම් LNG සැපයුම සම්බන්ධයෙන් සේවක වෘත්තීය සමිතිවල මතය වනුයේ ලංවිම විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ටෙන්ඩර් හරහා ගබඩා සහ යටිතල පහසුකම් ලබාගත යුතු බවයි. මේ සඳහා වන ණය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බවද පැවසේ.

එහෙත් ආණ්ඩුව මේ වන විට අමෙරිකානු සමාගමක් සමඟ ගිවිසුමකට එලඹ ඇති බැවින් වෘත්තීය සමිති එයට එරෙහිව පෙලගැසී ඇත. මේ සම්බන්ධයෙන් සිදුවූ අතීත අත්දැකීම් හා ඒවායේ වර්තමාන තත්වය අධ්‍යනය කිරීමේ දී පෙනීයන්නේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීම හරහා කල මිලදී ගැනීම් වලින්ද ප්‍රතිඵල අපේක්ෂිත මටිටමෙන් ලැබී නොමැති බවයි. බොහෝ අවස්ථාවල අපේක්ෂිත කාලය බොහෝ සෙයින් ඉක්මවා ගොස් අවසානයේ ප්‍රමිතියෙන් අඩු හෝ මිලෙන් වැඩි යන්ත්‍රාගාර භාර ගැනීමට හෝ අවාසි සහගත ගිවිසුම් වලට එළඹීමට සිදුවූ බවද නිරීක්ෂනය කල හැකිය.

මිලදී ගැනීමෙන් පසු මෙම යන්ත්‍රගාරවල ක්‍රියාකාරිත්වය හෝ ඒවායේ කළමනාකාරිත්වය ගැන පසුවිපරම් ක්‍රියාවලියක් අමත්‍යශ මටට්ටමෙන් හෝ එම ආයතන මට්ටමෙන් සිදු නොකරන බැවින්ද මෙම කටයුතු නියාමනය සඳහා පිහිටුවා ඇති නියාමන ආයතන අකර්මන්‍ය කර ඇති බැවින්ද පවතින ටෙන්ඩර් ක්‍රමයේ අඩුපාඩු මතුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩු බැවින් මේ පිලිබඳ හරි තක්සේරුවක් නිලධාරීන්ට හෝ වෘත්තීය සමිති වලට නැති බව හෝ ඒ බව පිටතට දැන්වීමට ඔවුන් මැලිකමක් දක්වන බව පිලිගන්නට සිදුවේ. තවද සමස්තය දෙස ආපසු හැරී බැලීමේ දී පවතින තත්වය සතුටුදායක නොවන බැවින් මෙම ක්‍රමය පවත්වාගෙන යා යුතුය යන්න සධාරනීකරනය කිරීම සඳහා ප්‍රමානවත් ප්‍රතිඵල තිබෙන බවට සාධක නොමැත. මෙහි දෙවැනි කරුන වන්නේ වියදම වැඩිවීම සහ ආදායම අඩුවීම මඟින් සිදුවන සමස්ථ පාඩුව භාන්ඩාගාරය හරහා මහජනතාවට දැරීමට සිදුවුවත් මෙම මහා පරිමාන ගනදෙනු හරහා දේශපාලකයින්ට සහ සේවකයින්ට ලැබෙන කොටස ඉතා විශාල නිසා ආන්ඩු ඒ පිලිබඳ යථාර්තය ජනතාවගෙන් සඟවා මෙම ක්‍රමය පවත්වාගෙන යන බව පැහැදිලිය.

ආදායම් සහ වියදම් ගැන සලකා බැලීමේ දී නිෂ්පාදනය, සම්ප්‍රේෂනය සහ බෙදාහැරීම යන ප්‍රධාන අංශ තුන ගැනම ගැන සලකා බැලිය යුතුය. නිෂ්පාදනය වශයෙන් හඳුන්වනු ලබන්නේ බලශක්තිය ජනනය කිරීමයි. මෙහිදී ජල විදුලිය සඳහා මේ වන විටත් මහා පරිමාන යන්ත්‍රාගාර සාදා නිමකොට ප්‍රාග්ධන ආයෝජනද පියවාගෙන ඇති බැවින් ඒවායින් නිපදවනු ලබන විදුලිය සඳහා ඉතා අඩු මුදලක්  වැය වන බැවින් එහි නිෂ්පාදන වියදම යනු ඒවා ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කටයුකු සඳහා වැය වන මුඳල පමනි. (ජල විදුලියේ නියම වටිනාකම ගණනය නොකිරීමද වෙනමම හැදෑරිය යතු ප්‍රශ්නයකි) එහෙත් දැනට ගිවිසුම්ගත තාප විදුලිය සඳහා ප්‍රාග්ධන, මෙහෙයුම් සහ ඉන්ධන වියදම් දිගටම දැරීමට සිදුවේ. මේ අනුව තාප බලාගාරවල විදුලිය නිෂ්පාදනය නොකරන අවස්ථා වලදී ඉන්ධන වියදම ඉතිරි වූවත් ප්‍රාග්ධන වියදම දිගටම ගෙවීමට සිදුවීම හරහා විදුලි ඒකකයක සාමාන්‍ය මිල එහි නියම  මිලට වැඩි අගයක් ගනී.ඒ අනුව යම් යන්ත්‍රාගාරයක් අඩුවෙන් භාවිත කරන්නේ නම් එයින් ලැබෙන විදුලි ඒකකයක සාමාන්‍ය මිල එහි නියමිත මිලට වැඩි වේ. මෙම ගෙවීම් ක්‍රමය පිලිගත් එකක් වුවද දැනට ගිවිසුම්ගත සියලු තාප බලාගාර ටෙන්ඩර් ක්‍රමය යටතේ තෝරාගත්ත ද ඒවායේ මිලගනන් කලාපයේ අනිකුත් රටවල මිලගනන් හා සන්සන්දනය කිරීමේ දී වැඩි බව අනාවරනය වී ඇත. එබැවින් පසුගිය දශක කීපයක් දෙස බැලීමේ දී මෙයට හේතු වශයෙන් දැක්විය හැක්කේ මෙවැනි මහා පරිමාන ටෙන්ඩර් කටයුතු අගැයීම් කිරීමේ දී, පිරිනැමීමමේ දී හා යන්ත්‍රාගාර ක්‍රියාත්මක කිරීමේ දී පවතින පාරාන්ධ තත්වය හේතුවෙන් එල්ලවන දේශපාලනික සහ අනෙකුත් බලපෑම් වලට ආයතනික යාන්ත්‍රනය සහ නිලධාරීන් නතුවීමයි.

එබැවින් ආයතනික නිලධාරීන් පවසන පරිදි LNG ටෙන්ඩරය කරගෙන යෑමට ඉඩදීම අත්‍යවශ්‍ය බව සධාරණීකරනය කල නෙහැකිය. වියදම් ඉහල යාමට හේතු වන අනෙක් කරුන නම් විශාල සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීමයි. රජයෙ ආයතන රැකියා සැපයීමේ ප්‍රභව ලෙස නඩත්තු කරගෙන යෑමේ ප්‍රතිපත්තිය නිසා මෙම තත්වය උදාවී ඇති බව සඳහන් කල යුතුය.

ආදායම අඩුවීමට ප්‍රධාන හේතුව වන්නේ දේශපාලන අවශ්‍යතා මත මිල පාලනය ආණ්ඩුව සියතට ගෙන ක්‍රියා කිරීමයි. මේ අතර විදුලි ඒකකයක මිල හා කළවම් කර පවත්වාගෙන යන මූල්‍ය සහනාධාරය මෙම ආදායම් අඩුවීමට සෘජුවම හේතු වන බව පෙන්වා දිය හැකිය. මේ මඟින් සිදුවන අනිකුත් අතුරුඵලය වන්නේ අඩු ආදායම නිසා අත්විඳින පාඩුව තුල ආයතනයේ අකාර්යක්ෂමතාව හා දූෂන වලින් වන පාඩුවද සඟවා තැබීමට හැකි වීමයි.

එබැවින් සහනාධාරය විදුලි මිල තුලින් ඉවත්කර එය සෘජු ලෙස අදාල සමාජ කණ්ඩායම් හෝ පුද්ගලයින්ට ලබාදීමත් විදුලිය එහි නිෂ්පාදන වියදම මත පදනම් වූ මිලකට අලෙවි කිරීමට ඉඩදීමත් තුලින් මෙම ආයතනය කාර්යක්ෂමව සහ පාරදෘෂ්‍යභාවයෙන් පවත්වාගෙන යාහැකිය.

විදුලි සේවකයන්ගේ  විරෝධය එල්ලවන තවත් කරුණක් වන්නේ විදුලිබල මණ්ඩලය බෙදා වෙන්කිරීමට ඇති සැලසුම සම්බන්ධවයි. මෙම වැඩපිලිවෙලට අනුව විදුලි ජනනය සඳහා තාප, ජලවිදුලි සහ පුනර්ජනනීය වශයෙන් කොටස් තුනකුත් සම්ප්‍රේක්ෂණය සඳහා තවත් කොටසකුත් බෙදාහැරීම සඳහා තවත් කොටස් හතරකුත් වශයෙන් කොටස් අටකට බෙදා වෙන්කිරීමට සැලසුම් කොට ඒවා වෙන් වෙන් ආයතන වශයෙන් ස්ථාපිත කර පවත්වාගෙන යෑමයි. මේ හරහා දැනට ආයතනය සතුව පවතින ඒකාධිකාරී බලය බෙදීයන අතර ඒ හරහා වෘත්තීය සමිතිවල කේවල් කිරීමේ බලය සහ හැකියාව අඩුවීමෙන් තර්ජනයකට ඔවුන් මුහුන පා ඇත.

මෙම ප්‍රතිව්‍යහගත කිරීමෙ වැඩපිළිවෙල වර්ෂ 1999 දී පමණ සැලසුම් ආරම්භ කල ඒකක් වන අතර 2001 දී මහජන උපයෝගීතා කොමිෂන් සභාව නම් වූ නියාමන ආයතනය ස්ථාපිත කිරීම හරහා එලිදැක්වුනි. ඉන්පසු 2004 පාර්ලිමේන්තු මැතිවරනය තෙක් මෙම වැඩපිලිවෙල ඉදිරියට ගිය අතර ඒ යටතේ විදුලිබල මණ්ඩලය බෙදා වෙන්කිරීමට අවශ්‍යවූ යටිතල පහසුකම් සම්පාදනය සිදු කෙරුනි. ඒ යටතේ බෙදාහැරීමේ ආයතනවලට වෙන්කෙරුනු භූම් සීමා නිර්නය කිරීම, ඒවා අතර බලශක්ති හුවමාරුව සඳහා අවශ්‍ය මනු පද්ධති ස්ථාපිත කිරීම, අවශ්‍ය ගෙඩනැගිලි, මානව සම්පත් සහ තාක්ෂනය ලබාදීම, ජනන සහ බෙදාහැරීම් අංශ අතර තොග බලශක්ති හුවමාරුව සඳහා විදුලි වෙළඳපොලක් ඇති කිරීමට අවශ්‍ය නීති පද්ධතියක් ස්ථාපිත කිරීමටත් ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ලබාගැනීමට සහ එවා ක්‍රියාත්මක කිරීම සහ වෘත්තීය සමිති සමඟ සාමූහික ගිවිසුම්වලට එලඹීම ආදී මූලික වැඩකටයුතු නිම කෙරිනි. එහෙත් එම මැතිවරනයෙන් පසු මෙම කටයුතු අතහැර දැමුනු අතර දැන් ආරම්භ කර ඇති උත්සාහය තෙක් කිසිවෙකුත් ඒගැන උනන්දුවක් පෙන්වා නැත.

මෙහි පෙර සඳහන් කල පරිදි භාණ්ඩාගාරය විසින් පාඩුව දරාගැනීමේ ප්‍රතිපත්තිය මත පිහිටා මෙතෙක් මෙම ප්‍රතිව්‍යහගත කිරීමෙ වැඩපිළිවෙල කල් දැමීමට හෝ නවතා දැමීමට කටයුතු කලද අද වන විට  භාන්ඩාගාරයට එය තවදුරටත් දරා ගැනීමට නොහැකි තත්වයකට පත්වීම හමුවේ නැවතත් මෙම ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවලිය පටන් ගැනීම අනිවාර්ය දෙයක් බවට පත්ව ඇත.

මෙම ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවලිය පමාවී හෝ පටන් ගැනීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණක් වන අතර මේ තුලින් අකාර්යක්ෂමතාව සහ දූෂණය නිසා භාන්ඩාගාරයට දැරීමට සිදු වන විශාල බරකින් නිදහස් වීමටත් අලුතින් පිහිටුවන ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට සමත් වුවහොත් එවායේ ප්‍රතිලාභ පාරිභෝගික ජනතාවට ලබාදීමටත් හැකිවනු ඇත.

මෙහිදී වෙනස් වියයුතු තවත් කරුණක් සඳහන් කල යුතුය. එනම් බොහෝ කාලයක සිට පැවත එන අදහසක් වන රජය මඟින් ජනක යන්ත්‍රාගාර පිහිටුවා පවත්වාගෙන යෑම අඩුම පිරිවැය ක්‍රමය බවයි. 1990 ට පමන පෙර  මෙය සත්‍යයක් වුවද ඉන් පසුව ඇතිවූ තාක්ෂනික දියුනුවත් සමඟ මෙම මතය අභියෝගයට ලක්වුනු අතර බෙහෝ  රටවල් එම ක්‍රමවේදය අතහැර නිපදවූ විදුලිය තරඟකාරී ක්‍රමවේදයක් හරහා එවෙලේ පවතින ඉල්ලුමට තොග හුවමාරු වෙළඳ පොලක් හරහා මිලට ගෙන විකිණීමේ ක්‍රමවේදයකට අවතීර්න වෙමින් පවතී. සරල ලෙස සහ කෙටියෙන් මෙම ක්‍රමවේදය විස්තර කලහොත්, මෙම තොග හුවමාරු වෙළඳපොල තුළ මිල උචචාවචනය වන අතර දවසේ ඉල්ලුම වැඩි වෙලාවල මිල ඉහලටත් ඉල්ලුම අඩු වෙලාවල මිල පහලටත් ගමන් කරයි. බෙදාහරින්නන් තොග වෙලඳපොලෙන් මිලට ගෙන පාරිභෝගික ජනතාව වෙත නියාමන අධිකාරියෙන් අනුමත මිලක් යටතේ සැපයීම සිදු කරනු ලැබේ. මේ ක්‍රමය හරහා රජය මැදිහත්වී ලබාගන්නා ණය ආධාරයෙන් ටෙන්ඩර් මඟින් යන්ත්‍රාගාර පිහිටුවා විදුලිය නිපදවීමෙදී හා ටෙන්ඩර් ක්‍රමය යටතේ දීර්ග කාලීන ගිවිසුම් මගින් විදුලිය ලබාගැනීමෙදී සිදුවන අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය නිසා සිදුවන පාඩු භාණ්ඩාගාරය මඟන් දැරීම හරහා සිදුවන නාස්තිය අහෝසි කල හැකිය.

කීර්ති ගොඩිගමුව

Social Sharing
නවතම විශේෂාංග