
සුරක්ෂිතව පැවති අධිකරණයේ ස්වාධීනත්වයත්, ගරු විනිසුරුවරුන් අතර පැවති සදාචාරාත්මක අවංකභාවයන් යම් ආකාරයක තර්ජනයකට ලක්ව ඇත්ද යන්න පිළිබඳව පසුගිය කාලය තුළ සිදු වූ යම් යම් සිද්ධීන් නිසා සැකයක් ජනිත වෙමින් පවතී.
පසුගිය ආසන්න කාලය තුළ ගරු මහෙස්ත්රාත්තුමන්ලා හා තුමියන්ලා කිහිප දෙනකුගේ වැඩ තහනමට ලක්වීම මෙයට උදාහරණයකි. මේ පිළිබඳව දැනට නීති ක්ෂේත්රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්රයේ ද කඩිනම් අවධානය යොමුවිය යුතුය. මන්ද ප්රජාතන්ත්රවාදී සමාජයක සුරක්ෂිතභාවය හා යථා පැවැත්ම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය වැදගත්ම සාධකයකි. මන්ද මෙයට සාමාන්‍ය ජනයා තවමත් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ පූර්ණ විශ්වාසය තබා ඇති බවට කිසිදු සැකයක් නොමැති නිසාය. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මෙහිදී ගැඹුරින් සලකා බැලිය යුතුය.
කීර්තිමත් නීතිවේදියකු වූ එස්. නඩේෂන් මහතා ලෝගෝස් (Logos) 23/2 ප්රකාශනයට 1984 දී ඉදිරිපත් කළ ලිපියක මෙසේ සඳහන් වේ. “යුක්තිය පසිඳලන පුද්ගලයන්ගේ ස්වාධීනත්වය ලබාගත යුතුය. මෙහිදී ගැටලු දෙකක් පැනනඟී. එනම් ස්වාධීනත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එය ලබාගන්නේ කෙසේද? යන්නය. යුක්තිය පසිඳලන පුද්ගලයන්ගේ ස්වාධීනත්වය යනු ඔවුනොවුන් බියෙන් හා පක්ෂපාතීත්වයෙන් තොරව එම ක්‍රියාව කළ යුතු බවය. වෙනත් දේ සැලකිල්ලට නොගෙන නීතියට අනුවම පමණක් ගැටලු විසඳිය යුතුය. රජය හා රට වැසියා අතර පැන නඟින ගැටලුවලදී මෙය විශේෂ වේ. යුක්තිය පසිඳලීමේදී අපක්ෂපාත වන්නේත්, නිර්භීත වන්නේත් කෙසේද? අධිකරණ පත්වීම් තනිකර සුදුසුකම් මත පමණක් දීම සහතික විය යුතුය. එය දේශපාලන පක්ෂපාතීකම් අනුව සිදු නොවිය යුතුය. විශේෂ ජාතියක්, කුලයක්, ආගමක් නිසා එසේ සිදු නොවිය යුතුය.” යනුවෙනි.
අධිකරණයට ගරු විනිසුරුවරුන් පත්කිරීම් පිළිබඳ විවිධ විවේචන මෙන්ම සමහර විනිසුරුතුමන්ලාගේ විෂමාචාර ක්‍රියා පිළිබඳව ද අතීතයේ පටන් වාර්තා වී තිබේ. නමුත් ඒ සියලු අභියෝග හමුවේ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය තවමත් නොකැළැල්ව රඳා පවතින්නේ ඒ සියලු අවස්ථාවලදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්ෂණික මැදිහත්වීම් හා නිවැරදි තීරණ ගැනීම් නිසාය. මෙරට පවතින ආයතන අතරින් අධිකරණ සේවා කොමිෂන් සභාව අතිෂයින්ම ස්වාධීන වූත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නිසි වේලාවේදී නිසි තීරණ ගන්නා ආයතනයක්ය යන්න පිළිබඳව අපට කිසිදු සැකයක් නැත.
මේ සියලු තත්ත්වයන් හමුවේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් ද අධිකරණ ක්ෂේත්රය තුළ පසුගිය ඉතිහාසය පුරාම ඇතිව තිබේ. 1978 ආණ්ඩුව විසින් අගවිනිසුරු ධුරය සඳහා ජ්‍යෙෂ්ඨතම සමරවික්‍රම විනිසුරුතුමා වෙනුවට පෞද්ගලික නීතිඥ සමරකෝන් මහතාව පත් කරන ලදි. මෙය එකල විශාල ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත් විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් හිටපු නීතිපතිවරයකු වූ සරත් එන්. සිල්වා මහතාව අගවිනිසුරු ධුරයට පත් කිරීම ද ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල විවාදයකට බඳුන් විය. මේ පිළිබඳව සොයා බැලීමට අන්තර්ජාතික නීති සංගමය ශ්‍රී ලංකාවට ත්‍රී පුද්ගල ධූත මණ්ඩලයක් එවූ අතර Sri Lanka – failing to protect the Rule of Law and the Independence of Judiciary නමින් වාර්තාවක් 2001 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පල කරන ලදි. එමෙන්ම විනිශ්චයකාරවරුන් හා අධිකරණ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඩාටෝ පරම් කුමාරස්වාමි මහතා ද මේ පිළිබඳව විරෝධය පල කර තිබුණි. 1999 වර්ෂයේදී ලෙනින් රත්නායක නම් මහෙස්ත්රාත්වරයකු සම්බන්ධයෙන් ද මෙවැනිම ආන්දෝලනාත්මක සිදුවීමක් ඇති විය.
අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටුනහොත් එය අතිශය භයානක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඕනෑම ජන සමාජයක යුක්තිය පසිඳලීමේ ආයතනය වන්නේ අධිකරණයයි. අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටුනහොත් එය මුළු සමාජයම බිඳවැටීමක් බව කිව යුතුය. අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමෙන් පසු ආරම්භ වන්නේ ජනතාව විසින් නීතිය අතට ගන්නා යුගයකි. එය අතිශය භායනක තත්ත්වයකි. ලෝකයම පිළිගන්නා මතයක් වන්නේ අධිකරණය කෙරෙහි මහජනයා විශ්වාසය තබන්නේ අධිකරණය ස්වාධීන වනවා නම් පමණක් බවයි. අධිකරණය යනු, Temple of Justice කියා කියයි. එනම් අධිකරණය හඳුන්වන්නේ යුක්තියේ දෙවොල වශයෙනි. විනිසුරු ධුරයේ එෛතිහාසික සම්ප්රදාය හා කීර්තියත්, යුක්තිය පසිඳලීම පිළිබඳ පූර්ණ අවබෝධය හා වගකීම ගැඹුරු හැඟීමක් සහිතව යුක්තිය පසිඳලීම සඳහා ගරු විනිශ්චයකාරවරයකු කටයුතු කළ යුතුය. ගරු විනිසුරුවරයකුගේ ස්වාධීනත්වය ඔහුගේ සදාචාරාත්මක අවංකභාවය මත රඳා පවතී. නීතිය පිළිබඳ ඔහුට ඇති නිපුනතාවය හා විනිශ්චය සඳහා ඇති විශ්ලේෂණ ශක්තිය ද මෙහිදී වැදගත් වේ. කෙසේ නමුත් මෙහිදී අවසාන වශයෙන් කිව හැක්කේ අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ පාලනයට එරෙහි යම් යම් සිදුවීම් පසුගිය කාලය පුරා අධිකරණ පද්ධතිය තුළ දැකිය හැකි වුව ද සමස්ත අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය තවමත් ආරක්ෂිතව පවතින බවයි. කළ යුත්තේ සුළු සුළු සිදුවීම් සම්බන්ධව ක්ෂණික හා ජනතාවගේ විශ්වාසය තහවුරු වන පරිදි නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමය.
https://www.divaina.lk/features/39221
