පර්ල් කළ විනාශයට වරාය බළධාරීන් වගකිව යුතුය!

Port authorities are responsible for the damage caused by the Express Pearl ship

අපි අද මොනවා කීවත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ චීනයේ නිශ්පාදිත බහාලුම් නෞකාව ලංකාවට සහ එහි මුහුදු තීරයට කරන්න පුලුවන් උපරීම පරිසර හානිය කර අවසන් ය. කටාර් සහ ඉන්දියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව මැයෙන් මෙම නැව අලලා මවිසින් අයිතිය වෙබ් අඩවියට ලිපියක් ලියනු ලැබීය. එම ලිපියට පාදක වුණේ සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක Splash247.com යන වෙබ් අඩවියේ පළවූ “X-Press Pearl burning off Sri Lanka was denied entry to Qatar & India” යන ලිපියයි. එම ලිපිය සඳහා අදහස් දක්වන එම නැව් සමාගමේ විධායක සභාපතිවරයා කියා සිටින්නේ කටාර් රාජ්‍යයේ හමාඩ් වාරය සහ ඉන්දියාවේ හසිරා වරාය මෙම නැවට තම වරායන්වලට ඇතුල්වීමට අවසර නොදී ඇති බවය. කෙසේ හෝ එම ප්‍රකාශය මේවනවිට සංශෝධනය වී ඇත. දැන් එම සමාගම කියා සිටින්නේ මෙම නැව ඉහත වරායන් දෙකටම ඇතුල්වී බහාලුම් ගොඩබෑම සහ පැටවීම කර ඇතැත් වැරදියට ඇසිරීම නිසා කාන්දුව සිදුවෙමින් තිබුණ ප්‍රශ්නගත බහාලුම් ගොඩබාන්න එම වරායන් දෙකෙන්ම අවසර නොලැබී ඇති බවය. එනිසා අපද අපගේ මුල් අදහස ටිකක් වෙනස් කරගන්නට කැමතිය. මෙම නැව ඉහත වරායන් දෙකම භාර ගැනීම සහ අදාළ ප්‍රශ්නගත බහාලුම් ගොඩබෑමට අවසර නොදීම යන්න දැනට එළිදරව් වී තිබෙන සත්‍යයන් ය. එනිසා එම ලිපිය ප්‍රශ්න ගත බහාලුම් ගොඩබාන්නට අවසර නොදුන් බවට නිවැරදි විය යුතුය.

ගිල්ලවන්න ආවාද?

Port authorities are responsible for the damage caused by the Express Pearl shipඑය එසේ වූ පමණින් ලංකා වරාය බළධාරීන්ට හෝ පාලකයින්ට මේ නැවේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නට පුලුවන්ද? බැරිය. ඒ මන්ද ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකක් මෙම ප්‍රශ්නගත බහාලුම් නැවෙන් ගොඩබෑමට අවසර නොදුන්න පසුබිමක සහ දිගටම එයින් අදාළ රසායනික ද්‍රව්‍ය කාන්දු වූ පසුබිමක ලංකාවෙ මුහුදු සීමාවට එම නැවට ඇතුල්වීමට අවසර දුන්නේ කවුද? මේ ප්‍රශ්නයට මූලිකම හේතුව ඒකය. මෙවැනි අන්තරායකර රසායනිකයන් නිසා නැවක හටගන්නා ගින්නක් පාලනය කරගන්නට ලංකාවේ වරාය හෝ නාවික හමුදාව සතුව අවශ්‍ය උපකරණ නැතිනම් ඇයි මෙවැනි අවධානමක් දරාගෙන මේ නැව කොළඹ වරාය ඇතුලට ගන්නට තීරණය කළේ? ඉහත වෙබ් අඩවිය වාගේම අනෙකුත් විදෙස් මාධ්‍යද වාර්තා කරන ආකාරයට ඉහත වරායන් දෙක තුළට මෙම නැව ඇතුල් කරගන්නා අවස්ථාවේද මෙම අවධානම් තත්ත්වය තිබී ඇත. සමහර විට සුළු ගිනි ගැනීම් පවා සිදුවෙන්නට ඇතැයි සමහරුන් අනුමාන අදහස් පළකරයි. ඒවා සියල්ලටම අනාගතයේදී පිළිතුරු ලැබෙනු ඇති. එය එසේනම් එම වරායන් දෙක නොගත් අවධානමක් අපේ වරාය ගත්තේ ඇයි?

කෙසේ හෝ නැව් ක්ෂේත්‍රය පිළිබඳව දැනීමක් තිබෙන බොහෝ දෙනෙක් මේ වනවිට සැක කරන්නේ චීනයේ නිශ්පාදිත දිගින් මීටර් 186ක් හා පළලින් මීටර් 34ක් වූ මෙම අලුත්ම නෞකාව උද්ගත ප්‍රශ්නයෙන් වඩා වාසිදායක ලෙස ගැලවීගැනීම සඳහා (නැව ගිල්වීමටම) ලංකාවේ මුහුදු කළාපයට පැමිණියේ ද යන්නයි. එයට හේතුව ලංකාවේදී මෙවැනි ප්‍රශ්නයක් වූ විට ගෙවන්නට සිදුවෙන වන්දිය අනෙකුත් රටකට සාපේක්ෂව අඩු මුදලක් වන නිසාය. මෙම නැවේ ප්‍රශ්නය සමග අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ මේ වෙලාවේ තිබෙන ආර්ථික අර්බූදයට මෙයින් ලැබෙන වන්දි මුදල සහනයක් වෙනු ඇති බවය. අපි රටක් විදිහට මේ ප්‍රශ්න දෙස බලන්නේ එසේය. සමුද්‍ර දූෂණය අතින් ඉහළින්ම සිටින රටක් වෙන අපිට මේවා එතරම් ගාණක් නැති දේවල් ය. එය මෙම නැව් හිමියනුත් නොදන්නවාට සැක නැත. එනිසා කිසිඳු වරායක් භාර ගැනීමට උනන්දු නොවන බහාලුම් සමග මුහුදුබත් වන්නට මෙම නැව කොළඹ වරාය සීමාවට පැමිණියාද?

වරායේ මතය

Port authorities are responsible for the damage caused by the Express Pearl ship”අපි MV X-press Pearl නෞකාව සම්බන්දව නිත්‍යානුකූලව කටයුතු කරලා තියනවා. කිසිදු වරදක් ශ්‍රී ලංකාව පැත්තේ හෝ වාරය අධිකාරිය පැත්තෙන් සිදු වෙලා නැහැ. මෙය කොළඹ වරායට අයත් CICT පර්යන්තයේ බහාලු මෙහෙයුම් සේවාවන් ලබා ගැනීමට කලින් ඉදන්ම සැලසුම් කරන ලද නෞකාවක්. මෙය අන්තරායදායක බහාලුම් අඩංගු නෞකාවක් ලෙස නිසි පරිදි දැනුවත් කරලා තියන නෞකාවක්. මීට පෙර ද මෙම නෞකාව කොළඹ වරායට පැමිණ සිය මෙහෙයුම් කටයුතු සාර්ථකව ඉටු කර පිටව ගිහින් තියනවා. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 19 වන දින රාත්‍රියේ ගුවන් විදුලි පණිවිඩ ඔස්සේ වරාය අධිකාරියේ පාලන මැදිරිය අමතා එදින මධ්‍යම රාත්‍රියේ වාරය සීමාවට පැමිණෙන බව දැනුම් දී තිබුනා.  එය dangerous cargo ලෙස දැනුවත් කර තිබුනත්, එහි ඇති කාන්දුව පිළිබඳ දැනුවත් කර නොතිබිණි. එය එම නෞකාවේ කාර්යමණ්ඩලය මෙන්ම මෙහි නියෝජිත ආයතනය හෝ ඊට පෙර ළඟ වූ වරායන් මෙරට දැනුවත් නොකිරීම ජාත්‍යන්තර සමුද්‍ර නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම ආචාර ධර්ම කඩ කිරීමක්.

පසුව කාන්දුවන නයිට්‍රික් අම්ලය සහිත බහාලුවක් ගොඩ බා නැවත සකස් කිරීමට හාබර් මාස්ටර් වෙත email පණිවිඩයක් මගින් අවසර ඉල්ලා තිබුණි. නමුත් එකී අවසරය ලබා නොදුන් බව වගකීමෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. එදින නෞකාවේ අංක 2 කවුළුව තුළ දුමක් ඇති බව වරාය පාලන මැදිරියට දැනුම් දුන් අතර ඊට සුළු මොහොතකට පසු ඔවුන් එය පාලනය කර ගත් බවට වාර්තා කර තිබිණි. නැවත පැය 2 කට පසු නෞකාවෙන් දුමක් පිට වන ලෙස කළ දැනුම් දීමට ප්‍රතිචාර ලෙස වරාය ගිනි නිවීමේ ඒකකයෙන් කණ්ඩායමක් නෞකාව වෙත පිටත් කර යවනු ලැබිය. පසුව එම ගින්න මැඩ පවත්වා තිබියදී සිදුවූ පිපිරීමක් නිසා නැවත ගිනි ඇවිලිණි. සමුද්‍රීය කේෂ්ත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා ඇති කොළඹ වරාය කිසිසේත්ම මෙවන් ව්‍යසනයකදී තම වගකීම් පැහැර නොහරින බැව් වගකීමෙන් අවධාරණය කරන බව පවසන්න පුළුවන්”

ලංකා වාරය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක

දයා රත්නායක මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිහිපයක් මතුවෙයි. ඔහු කියන්නේ අදාළ කාන්දුව සහිත බහාලුම් ගොඩබා නැවත සකස් කිරීම සඳහා මෙම නැවෙන් හාබර් මාස්ටර් වෙත ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවය. එයට අවසර නොදුන්න බව ඔහු වගකීමෙන් ප්‍රකාශ කළත් තමන්ගේ වරාය සීමාවට පැමිණි මෙම නැවේ තත්ත්වය එමගින් කොළඹ වරාය දැනගත්තේ නැද්ද?. එනිසා කොළඹ වරාය ගත් හදිස්සි ක්‍රියාමාර්ගයක් ද නැත. දයා රත්නායක මහතාම මෙහි ප්‍රකාශ කරන පරිදි නෞකාවේ දුමක් ඇතිවී ඇති බව නැව විසින් කොළඹ වරාය දැනුවත් කර ඇත. පසුව ඔවුන්ම එය මැඩපැවැත්වූ බව සඳහන් කර ඇත. මේ අවස්ථාවේදී හෝ කොළඹ වරාය බළධාරීන් ක්‍රියාත්මක වී මෙම නැව ලංකා මුහුදු සීමාවෙන් එපිටට ගෙනයන්න උත්සාහ නොකළේ ඇයි? මුල් දැනුන්දීමෙන් පැය දෙකකට පසුව තමයි වරාය ගිනි නිවීම් ඒකකය අදාළ නැව වෙත පිවිසෙන්නේ. එහිදී හෝ කොළඹ වරාය බළධාරීන්ට මේ අනතුර පෙර දකින්නට ඥාණය නැතිවුණිද? නැතිනම් බළධාරීන් එය නොසලකා කටයුතු කළාද? මෙම ගින්න පිළිබඳව අදහස් දැක්වූ වරාය සේවකයෙක් ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් අවශ්‍ය ආධාර උපකාර ඉල්ලා සිටීමට පවා ලංකා බලධාරීන් ප්‍රමාදවී ඇති බවය.

මෙම නැව වාගෙම තවත් විශාල වශයෙන් අන්තරායකර ‍රසායනික බහාලුම් සහිත නෞකා කොළඹ වරායට පැමිණෙන්නේ නම් (මෙම නැව Port Klang, Singapore, Jebel Ali, Hamad, Hazira, Colombo, Port Klang ලෙස සිය ගමන්වාරවල යෙදී ඇත) එම නැව්වල හදිස්සියේ ගින්නක් හටගත හොත් කොළඹ වරායට හෝ ලංකාවේ ඒ සඳහා පිහිටුවා තිබෙන ආයතනවලට එම ගින්න මැඬලීමට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම තිබෙන්නේද? උත්තරය නැත යන්නයි. එහෙත් අපි කොළඹ වරාය ලෝකයේ හොඳම වරාය බවට පුරසාරම් දොඩමින් සිටින්නෙමු. එනිසා දැන්වත් පාඩමක් ඉගනගෙන ගිනි නිවන අධිවේගී බෝට්ටු හා තෙල් ඇතුළු රසායන ද්‍රව්‍ය කාන්දු පාලනය කරන බෝයාවල් වලින් වරායේ ගිනි නිවන අංශය ශක්තිමත් කළ යුතුය. අප නෞක ශක්තියෙන් ගොඩයන්නට හිතන්නේ නම් එලෙස කළ යුතුය. වරාය රැකගන්නට සටන් කරන වුර්තීය සමිතිවලටද මේ සඳහා විශාල වගකීමක් ඇත.

ලංකාවේ මුහුද විනාශ කළ පර්ල්

Port authorities are responsible for the damage caused by the Express Pearl shipමෙම නැවේ බහාලුම් 1486ක් තිබුණ බවද එයින් නයිට්‍රික් අම්ලය සහිත බහාලුම් 25ක් පමණ තිබුණ බවද දැන් අපි දනිමු. මෙහි රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙන්ම පුරුෂයින්ගේ ලිංගේන්ද්‍රය වර්ධනය කරන ක්‍රීම් වර්ග පවා තිබුණ බව දැන් අපි ඕනෑවටත් වඩා දනිමු. මීගමුවේ සිට පාන්දුරේට විහිදුන වෙරළට ගොඩගසා තිබෙන හිමකැට වැනි අඩු ඝනත්වයක් සහිත ප්ලාස්ටික් කැබලි ගැනද අපි අද කතාකරමින් සිටිමු. වෙරළට ගොස් ඒවා පරීක්ෂා කරන අගමැතිවරයා පිළිබඳව ද අද මාධ්‍ය වාර්තා කළේය. මියගිය මාළුන්ගේ කරමළය ඇතුලේ සිරවුණ පුංචි ප්ලාස්ටික් බුබුලු අද මාධ්‍යයෙන් පෙන්වයි. ජනයාද ඒවාට සලිතව ඇත. නාරා ආයතනය වැනි ආයතන මෙම සාගර විනාශය ගැන සොයා බලමින් සිටින බව සැළකරයි. මේ සියල්ල අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීම් ය.  මෙම ව්‍යසනය නිසා මිය යමින්, වෙරළට ගොඩගසමින් තිබෙන සාගරජීවීන් ගැනද දැන් අපි හැඬු කඳුළින් කතාරන්නෙමු. මේ සියල්ලන්ගෙන්ම පෙනෙන්නේ මෙම නැව ගිනි ගැනීම නිසා ඇතිවූ පාරිසරික ව්‍යසනයක මහතය. අද මේ කලාපයේ ධීවරයන්ට තමන්ගේ රස්සාව කරගන්න බැරිය. ධීවර ආම්පන්නද මෙම නැවෙන් ගසා බසා ආ රොඬු බොඬුවලින් හානියට පත්වී ඇත. ඊට අමතරව විශේෂඥයන් මාළු කන්න එපා යැයි අනතුරු අඟවයි. නයිට්‍රික් අම්ලයේ දහනයන් නිසා අම්ල වැසි ඇතිවීමේ අනතුරක් ඇත. මේ නිසාම ජලයේ පීඑච් අගය වෙනස් විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙම නැව ගිනි ගැනීම ආරම්භ වූ අවස්ථාවේ ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් කර නැව නොගැඹුරු මුහුදු සීමාවෙන් ගැඹුරු මුහුදට ඇඳගෙන ගියේ නම් මේ හානිය අවම කරගන්නට තිබුණ බව සමහර විශේෂඥයන්ගේ මතයයි. Asha de Vos වැනි විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ මෙහි තිබෙන ඉන්ධන මුහුදට එකතුවුණොත් එය බරපතළ තත්ත්වයක් උදාකරනු ඇති බවය. ඇය තමන්ගේ මුහුනු පොතට ග්‍රැපික සටහනක් එකතුකරමින් පැහැදිලි කර ඇත්තේ මෙම නැවේ සුන්බුන් සහ ඉන්ධන අපද්‍රව්‍ය කොළඹ සිට දකුණට ගමන් කරනු ඇති බවය.

අම්ල වැසි හටගැනීම ඒවා පොළවට පතිත වීමේදී කොතරම්දුරකට තනුක වී පතිත වෙයිද ආදිය පිළිබඳව සැමට තිබෙන්නේ අනුමානයන් පමණි. නයිට්‍රික් අම්ලය සහ අනෙකුත් අහිතකර රසායනිකයන් නොගැඹුරු මුහුදට මුසුවීම සහ එමගින් ජලයේ PH අගය කොතරම් ප්‍රමානයකින් වෙනස් වෙයිද? එය කොරල්පරවලට, මත්සයන්ගේ ජීවිතවලට, කොරල් ජීවීන්ට, අපෘෂ්ඨවංශින්ට කොතරම් පරිමාවකින් බලපායිද වැනි කරුණු පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම් කරන්නට තවත් සෑහෙන්න කලක් ගතවෙනු ඇත. අපගේ සාගර කලාපයට මෙයින් සිදුවන ආර්ථික සහ පාරිසරික හානිය පිළිබඳව නිවැරදි ගණනයක් සිදුකළ යුතුය. එය හුදෙක් වන්දි ලබාගෙන සැනසීම සඳහා කරන දෙයක් නොවිය යුතුය. මෙම නැව පිහිටි නොගැඹුරු මුහුදු කලාපය මසුන් බහුල කලාපයක් බව මෝදරින් මීගමුවෙන් මුහුදු යන ධීවරයන් ප්‍රකාශ කරයි. මේ තත්ත්වය තුළ ඔවුන්ගේ රැකියාවද අනතුරට වැටී ඇත. තාවකාලික සහනයක් ලෙස ධීවරයන්ට රුපියල් 5000ක මාසික දීමනාවක් ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇත. හිසේ රුදාවට අපි හැමදාව කොට්ටය මාරු කරමින් සිටින්නෙමු.

-කේ. සංජීව-

Social Sharing

Related posts