ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.

අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි.

ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත රෝග මර්දනය කිරීමේ මූලිකත්වය ගනු ලබන්නෝය. ඔවුන් යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ආදී සියලු දෙනා සේවය කරනු ලබයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට අනුව මේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් විවිධ වසංගතයන්, මාතෘ හා ළමා මරණ වැළැක්වීමට ඉතිහාසයේ සිටම කටයුතු කර ඇති පිරිසකි. අප වරක් හොඳම ළමා හා මාතෘ මරණ අඩු රට ලෙස ජාත්‍යන්තරයෙන් පිදුම් ලැබුවේද ඒ නිසාය.

දක්ෂ පළපුරුදු ප්‍රජා විශේෂඥවරුන් සිටින රටක කොවිඩ් වසංගතය මර්ධනය කිරීමේහි පෙරමුණ ගෙන ඇත්තේ වෙනත් පිරිසකි.

රටේ සංචරණ සීමා, නිරෝධායන නීතිරීති, කොවිඩ් තත්ත්වයේ වත්මන් තොරතුරු ආදිය සියල්ල අද ජනමාධ්‍යට මුදා හරින්නේ හමුදාවය. නැතිනම් දේශපාලඥයින්ය. එන්නත්කරණය සිදු කරන්නේද දේශපාලඥයින්ට අවැසි පරිදිය. අද සියලු ප්‍රජා වෛද්‍යවරුන්ට  සිදුව ඇත්තේ මුඛවාඩම් බැඳ ගැනීමටය.

මේ වන විට මෙරට කොවිඩ් මර්ධන එන්නත් 03 ක් ඇත. ඒ ඇස්ට්‍රෝනිකා, සයිනෆෝම් හා ස්පුට්නික් වී යන එන්නත්ය. මේ එන්නත් සියල්ල මෙරටට ප්‍රදානයන් ලෙස ලැබී ඇති අතර මෙරට මිලදී ගෙන ඇත්තේ එන්නත් ලක්ෂ 05 ක් පමණි.

ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ වන විට මේ එන්නත් වලින් මෙරට ජනතාවට පළමු මාත්‍රාව  ලැබී ඇත්තේ තවමත් 8% වැනි පිරිසකට බවය. එමෙන්ම මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී තීන්දු තීරණ ගන්නා බොහෝ දෙනෙක් සිටින බවත් ඒ අතර ඇතැම් අය අනවශ්‍ය පුද්ගලයින් බවද ඔවුන් නිරීක්ෂණය කර ඇත. ඔවුන් ගන්නා තීන්දු ඒ ඒ අවස්ථා වල ගන්නා තීන්දු තීරණ මිසක් කිසිම උපාය මාර්ගික ක්‍රම නොවන බවද ඔවුන් නිරීක්ෂණය කර ඇත.

දිගු කාලීන සැලසුමක් මේ එන්නත්කරණයට නැති බවත්, එන්නත් ලබා දීමේ ප්‍රමුඛතා ලේඛනයක් නැති බවත්, ඉල්ලුමට සැපයුම කරන්නේ කෙසේද කියා අදහසක් නැති බවත්. අනවශ්‍ය අය මේ එන්නත්කරණ ක්‍රියාවලියට බාධා කරමින් සිටින බවද ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ එන්නත්කරණයේ දුර්වලතා ලෙස දකියි.

හැම දෙයකම අවිනිශ්චිතභාවයක් ඇති බවත් අනවශ්‍ය අයට එන්නත් ලබා දීම තුලින් අවශ්‍ය අයට එන්නත් ලබා ගැනීමේ හැකියාව ගිලිහි ගොස් ඇතැයිද එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

තවදුරටත් අපි තමා හොඳටම කළේ කියන මානසිකත්වයෙන් සිටින අයඉන් මිදී  නිහතමානී වී සුදුස්සාට සුදුසු තැන දිය යුතුව ඇත.

-ශානි-

Social Sharing
නවතම