කුණු මුල්ලේ තිබී හමුවුණ ජනපතිගේ පින

Directing the farmer to use organic fertilizer president gotabaya rajapaksa

රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා රජය කියපු දවසේ ඉඳලාම තමයි මේක ලියන්න හිතාගෙන හිටියේ නමුත් ලියාගන්න වෙලාවක් ආවේ නැහැ. මුලින්ම කියන්න ඕනෑ මම මොනම ගොවිතැනක් පිළිබඳව වත් විශේඥයෙක් නොවෙයි. ඉතිං මම ලියන්නේ මම දකින දේ සහ මම ආස දේ. ඇත්තටම කියනවනම් මම කුඩා කාලේ ඉඳලාම ඔය කැලේ කොළේ අලේ මසේ කාල ජීවත් වෙන්න කැමති මනුස්සයෙක්. මට පොඩි කාලේ ඉඳලම ඔය ලැසි කෑම ජාතිවලට එච්චර ආසාවක් නැහැ. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා හදන්නේ නැහැ කන්නේ නැහැ කියලා. නැහැ ඒ දෙකම කරනවා. හැබැයි මම මට කොස් ටිකක් කිරිහොද්දක් එක්ක හම්බුණාම කන විදිහයි පීසා එකක් කන විදිහයි ඒ ආසාවයි රුචියයි දෙකක්. ඉතිං මම ඈත කොටියාගලට ගියාම කුරහන් තලප ආසාවෙන් ගිලිනවා තුන්වේලටම උනත්. මුව ගෝන වගේ මසක් එක්ක. පාරේ බඩ ඉරිඟු පුච්චනවා දැක්කාම ආසාවෙන් අරං කනවා. කන්න සල්ලි නැත්තං බලලා කෙළ ගිලලා හරි සැපක් ගන්නවා. අල ජාති වුණත් තම්බලා කනවට වඩා පුච්චලා කන්න මම ආසයි. මේ හැමදෙයක්ම අස්සේ තියෙන්නේ පොඩි ආසාවක්. කැලෙන් ගැලවෙන්න බැරි ආසාවක්. ඒ මට හිතෙන විදිහට. හැබැයි මම කවදාවත් මගේ වටේ ඉන්න අනික් මිනිස්සුත් මෙහෙම වෙන්න ඕනෑ කියන මතයක නැහැ.

සජීවී ආහාර ආසාව

මෙහෙම ජීවිතය අස්සේ සැඟව තිබුණ ආසාව 2013 අග විතර ජර්මන් ජාතික බෙන් සහ මිනිහගේ වයිෆ් අනූ මුණගැහුනට පස්සේ වෙනත් තලයක අනුරාගයක් උනා කිව්වොත් හරි. ඒ වෙනකොට මේ යුවල සම්පූර්ණයෙන්ම රෝෆුඩ් නැතිනම් සජීවී ආහාර විතරක් පරිබෝජනය කරන දෙන්නෙක්. ඒ ආහාර සංස්කතියේ ගිලී හිටිය දෙන්නෙක්. ඒක ඕගනික් ආහාර නැත්තං වස විෂ නැති ආහාර හොයාගෙන කනවටත් වඩා එහා ඉමක තියෙන ආහාර සංස්කතියක්. ඒ හමුවීම වගේම ඒ කතා බහත් සුන්දරයි. අපි වගේ ක්ෂීරපායින්ට අම්මගේ තනයෙන් කිරි බිව්වට පස්සේ කිරි බීලා වැඩක් නැහැ කියන තැන ඉඳලා වස විෂ ඇති ආහාරවලින් අපේ ශරීරයට කරන විනාශ ගැන වගේ ගොඩක් දේවල් ඒ කතා අස්සේ තිබිලා හම්බවුණා. ඒකත් දර්ශනයක්.  ඇත්තටම මමත් ගෙදර ඇවිත් එහෙම කන්න හිතුවා. සමහර දවස් වලට කෑවා එහෙම. හැබැයි පළතුරු කෙසේ වුණත් කොළජාති ඇට ජාති වුණත් අමුවෙන් කෑම ලේසිවුණේ නැහැ. හැබැයි මම නම් එහෙම කළේ පිළිකා හැදෙයි සීනී එයි කියන බයට නෙවෙයි. අපි අනතුරු සහිත ලෝකයක ඉන්නේ. මරණය හැමතැනම තියෙනවා. ඒනිසා මරණය නිසා නෙවෙයි ඒක තෝරාගන්න ආසා වුණේ, ඒකට හේතුව ආසාව අනුරාගය. නැවත කොළ ගෙඩි මල් ඒ විදිහට කන්න ඒ සුවඳ රස විඳින්න තිබුන ආසාව එතන තිබුණේ. හැබැයි ඒක දිගට කරගන්න බැරිවුණා රස්සාව, බේබදු ජීවිතය වගේ දේවල් හින්දා. ඒත් ඒ ගැන කියවන්න ලියන්න මම තවමත් ආසයි. එහෙම හිතන මම රසායනික පොහොර තහනම් කළා කීවම කැමතියි. ආසායි. හැබැයි මගේ ආසාව නිසා තව කෙනෙක්ට වස හරි කන්න තියෙන අයිතිය නැතිවෙනව නම් මම ඒකට විරුද්ධයි.

කාබනික ගොවිතැන

Directing the farmer to use organic fertilizer president gotabaya rajapaksa ඇත්තටම මේ කාබනික ගොවිතැන එහෙමත් නැත්තං පාරිසරික ගොවිතැන ගැන ඇල්ම ආවේ කවුඩුල්ලේ ජයතිස්ස අයියා විමුක්තිලා වගේ අය නිසා. මට හිතෙන්නේ ඒකත් ජීවන විලාසිතාවක්. වස විෂ නැති කෑම නිසා ශරීරයට සුවතාවය ලැබෙනවා. රෝග අඩුවෙනවා. ඒක ඇත්ත. ඒත් මේක කරන්න ආසාවක් තියෙන්න ඕනෑ. අනුරාගයක් ඕනෑ. වෙනත් තලයක දැනුමක් පෙළබුමක් ආසාවක් ඕනෑ. ජයතිස්ස අයියා වගේ කෙනෙක් ජීවත් වෙන විදිහ බැලුවාම ඒක හිතෙනවා. හැම ගොවියටම එක පාරටම කාබනික ගොවියෙක් වෙන්න පුලුවන් වෙයි කියලා මට හිතන්න අමාරුයි. හැබැයි ලෝකය පුරාම අද විශාල ඉල්ලුමක් සහ අවකාශයක් මේ ගොවිතැනට තිබෙනවා.

2019 වාර්තාවන්ට අනුව ලෝකය පුරාම මේ කාබනික ගොවිතැන කරන අවකාශයන් හෙක්ටයාර මිලියන 72.3ක් විතර තිබෙනවා. ඒ අගය 1999 දී මිලියන 11 යි හෙක්ටයාර්. බලන්න වැඩි වෙලා තියෙන විදිහ. අද වෙනකොට රටවල් 187කට වඩා කාබනික ගොවිතැන කරනවා. ඕස්ට්‍රේලියාවට තමයි වැඩිම කාබනික ගොවිබිම් ප්‍රමානය තියෙන්නේ. ඒක හෙක්ටයාර් මිලියන 35.7ක්. මේ ගොවිතැනේ අද වෙනකොට නිශ්පාදකයෝ මිලියන 3.1ක් විතර ඉන්නවා කියලා කියනවා. වැඩිම නිශ්පාදකයෝ ඉන්න රට තමයි ඉන්දියාව. 2019 වෙනකොට කාබනික ගොවිතැන සතුකරගෙන හිටපු වෙළඳපොළ වටිනාකම යුරෝ බිලියන 106.4ක්. මේ අගය 2000 අවුරුද්දේ දී යුරෝ බිලියන 15.1ක්. මෙයින් පේනවා මාකට් එක ඇදිලා තිබෙන පරිමාව. උතුරු ඇමරිකාවේ සහ යුරෝපෙ තමයි කාබනික ගොවිතැනට ලොකුම මාකට් එක තියෙන්නේ. ඇමරිකාවෙ තියෙන වෙළඳපොළ යුරෝ බිලියන 44.7ක් තරම් විශාලයි.

ඇත්තටම අද ලංකාවේ උනත් කාබනික ගොවිතැන නිශ්පාදනය කරන ආහාර නැතිනම් වසවිෂ නැති ආහාර කන්නේ මධ්‍යම පන්තිය. සල්ලි තියෙන මිනිස්සුන්ට තමයි ඒ හිමිකම තියෙන්නේ. කීල්ස් සුපර් වගේ වෙළඳසැලක තිබෙන කාබනික එළවළු සහ පළතුරුවල මිල අනෙකුත් එළවළු සහ පළතුරුවල මිලත් එක්ක සැසඳුවොත් ඔබට මේක තේරුන් ගන්න අමාරුවෙන එකක් නැහැ. අද දේශීය සහල් වර්ගයක් වෙන සුවඳැල් සහල් කිලෝ එකක මිල කීයද? මාසෙකට කන්න සෑහෙන්න සහල් ගන්න සාමාන්‍ය පුද්ගලයෙක්ට පුලුවන්ද? ඉතිං යුරෝපයේ සහ ඇමරිකාවේ වෙළඳපොළ ප්‍රසාරණය වීම මේ නිසා අපිට හිතාගන්න අමාරු නැහැ. අනෙක් පැත්තෙන් මේකෙන් පේනවා ලෝකය පුරාම වස විෂ නැති ආහාරවලට ඇල්මක් බැල්මක් රැල්ලක් තියෙනවා කියන එක. මේ තත්ත්වය අස්සේ මේ රැල්ලේ ඇල්මේ පීනන්න අපි හිතනවනම් ඒක හොඳ දෙයක්. මොකද සෑම මිනිහෙක්ටම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වෙලකට අයිතියක් තිබෙනවා.

ඒත්…

Directing the farmer to use organic fertilizer president gotabaya rajapaksa නමුත් මට තිබෙන ගැටලුව ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම වගේ දෙයක් නිසා හෝ මෙහෙම එක පාරටම රටක් විදිහට කාබනික ගොවිතැනට මාරුවීමට කරන උත්සාහය මිනිසුන් අස්සේ මේ ගොවිතැනට තිබෙන උනන්දුවත් හීන කරයි ද නැත්තටම නැති කරයිද කියන බය. ඉස්සර නුවරඑළියේ ගියාම මට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි ඇයි ගොවියා තමන්ට කන්න වෙනම කෑල්ලක් නඩත්තු කරන්නේ කියනඑක. එතනම විශාල සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. මෙහෙම සිතැඟියාවන් එක්ක ගොවිතැන් කරපු ගොවියන් එකවරම කාබනික ගොවිතැනට මාරු කළාම දැනට තිබෙන සැපයුමත් කඩාවැටීමේ අනතුරක් මටනම් පේනවා. අනෙක් පැත්තෙන් ගොවියා කාබනික ගොවිතැන ගැන දැනුවත්ද කියන ප්‍රශ්නයත් තිබෙනවා. පොහොර සමාගම් සහ රසායනික සමාගම් එක්ක එකට එක හැලියේ බැහැලා වැඩකරපු ක්ෘෂි නිළධාරීන්ට මේ නව දැනුම ගොවියාට දෙන්න පුලුවන්ද? දැනට අපි වගාවට යොදන රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය පරිමාව 50%කින් අඩුකරලා ඊට සමාන්ත්‍රව කාබනික වවන්නන් විශාල වශයෙන් දිරිමත් කරලා මේ වැඩේ පටන් ගත්තනම් මීට වඩා සාර්ථක වෙයි කියන මතයේ තමයි මම තවමත් ඉන්නේ.

අනෙක් පැත්තෙන් පාරිසරික ගොවිතැන ගැන කතාකරන රාජ්‍ය නොවන සංවිධානවලට සහ ඒ ගැන වැඩ කරන පුද්ගලයින්ට මේ ගොවිතැන ගැන දැනුම ලබාදීම සඳහා සැළසුමක් තිබෙයිද? දැනටනම් පෙනෙන්නේ අවශ්‍ය පොහොර ටික හෝ රට අස්සේ නිශ්පාදනය කරගන්න හැකියාවක් සහ සක්‍යතාවයක් නැහැ කියන දේ. මේ තත්ත්වය අස්සේ ඉන්දියාව වැනි තැනකින් ජෛව පොහොර ගෙන්වීම අපගේ පාරිසරික සමතුලිතතාවයට ප්‍රශ්නයක් ඇති නොකරයිද? දැනට ඉන්දියාවේ ව්‍යාප්ත වෙන කළු පුස් දිලීරය උනත් මේ හරහා ලංකාවට එන්නට බැරිද? මේවගේ ප්‍රශ්න කෝටියක් අපි ඉස්සරහා තියෙනවා. මේවාට විසඳුම් බළධාරීන්ට තිබෙයිද? නැතිවුණොත් කුණු මුල්ලේ තිබී හමුවූ ජනාධිපතිවරයාගේ පින අහෝසි වන්නට ඇහැකියි.  කොහොම වුණත් මම නම් මේ රසායනික පොහොර සහ විෂ රසායන තහනමට එක පයින්ම කැමතියි. මේකත් රිවස් නොවේවා කියලා පතනවා. මේ ගොවිතැනින් වැඩ පෙන්නපු ජයතිස්ස අයියා වගේ මිනිස්සු අතලොස්සක් ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ අතට මේක දුන්නොත් මේ අභියෝගය ජය ගන්න පුලුවන් වෙයි. කොහොම උනත් මේ හරහා එළවළු පළතුරු වගේ දේවල් වස විෂ නැතුව කන්නට බොන්නට ලැබිලා ශරීරයේ ටෙස්ටොස්ටෙරොන් මට්ටම ඉහළ දමාගෙන සැප ජීවිතයක් ලබාගන්නට හේතු වාසනා වේවා කියලා මේ ලිපිය අවසන් කරන්නම්…

-කේ. සංජීව-

Social Sharing

Related posts