කටාර් සහ ඉංදියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව!

Express Pearl ship fire rohitha abeygunawardena

පසුගිය මැයි 25 වෙනිදා රාත්‍රියේ මට මගේ ඇමරිකන් මිත්‍රයෙක් කතා කළා. මිනිහා නාවික ක්ෂෙත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. ” මචං බලපං දැන් නැව් ගිනිගන්න එන්නෙත් ලංකාවට අයිති මුහුදට නේ. නැවක් ගිනි ගත්තාම අනතුරකට ලක්වුණාම ගෙවන රක්ෂණ මුදල හරි විශාලයි මචං. ඒක නිසා පොඩ්ඩක් හොයලා බලපං ඕක පිටිපස්සේ මොකක් හරි කැත ගේම් එකක් තියෙයිද කියලා. මොකද මචං මෙහේ එහෙම ඔහොම නැවක් ගිලුනොත් හරි මූදුබත් වුණොත් හරි ඒකෙන් වෙන පරිසර විනාශයට ඒ සමාගමට මාර ගානක් ගෙවන්න වෙනවා. සමහර වෙලාවට ඒක නිසා ඒ කම්පැනිය බංකොලොත් වෙනවා. මොකද ඕකෙන් වායුගෝලයට මුහුදට සතුන්ට මාර ඩැමේජ් එකක් නේ වෙන්නේ. ඒවා මුන්නම් සතේට ගනන් හදලා අයකරගන්නවා. මම දන්නේ නැහැ ලංකාවේ තත්ත්වය.” මේ වගේ කතා සාගරයක් ඔහු මට කිව්වා. ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව ගැන ඉඳලා සෝමාලි මුහුදු කොල්ලකාරයෝ දක්වා දිග කතාවක් ඒක. එතනින් පස්සේ මට නිකමට මේ ගැන ටිකක් හොයන්න හිතුනා. මීගමුව වෙරළට ගොඩගහපු බඩු උස්සගෙන දුවන ලාංකිකයන් ගැන මාධ්‍ය වාර්තා නිසා වගේම, වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන ගොඩ ඉඳලා කටින් පිඹලා ගින්න නිවපු අපූරුව නිසාම, මේ නැව ගැන එහි ගින්න ගැන යමක් ලියන්න හිතුනා.

Express Pearl ship fire rohitha abeygunawardena

එහෙම හිතමින් ඉන්නකොට තමයි splash247.com කියන සිංගප්පූරු වෙබ් අඩවිය ” X-Press Pearl was denied entry in India and Qatar before catching fire off Colombo ” කියන සිරසින් පළකරලා තිබුණ ලිපිය දැක්කේ. මේ ලිපියට අනුව මේ ගින්නට හේතුවුණා කියන ඇසිඩ් කාන්දුව නැවේ සේවකයින් දැනගන්නේ ලංකා මුහුදු සීමාවට බොහෝ දුර අරාබි මුහුදේ දී. මේ කාන්දුවට හේතුව ඇසුරුම්කරණයේ දී සිද්ධවුණ දුර්වලතාවයක්, නැත්තම් වැරැද්දක් කියලා තමයි මේ වෙබ් අඩවියට අදහස් දක්වන Tim Hartnoll කියන්නේ. ඔහු තමයි X-Press Feeders කියන සමාගමේ විධායක සභාපති. ඔහු කියන විදිහට මේ ඇසිඩ් කාන්දුව දැනගත්තට පස්සේ නැවේ කපිතාන් ඉන්දියාවේ බටහිර වෙරළේ තිබෙන හසිරා කියන වරායට සහ කටාර් රාජ්‍යයේ හමාඩ් කියන වරායට කතාකරලා තිබෙනවා. ඒ මේ ප්‍රශ්නගත බහාලුම් ගොඩබාන්න. එහෙත් මේ ඉල්ලීම් දෙකටම ඉඩ ලැබිලා නැහැ කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. ඊටපස්සේ තමයි මේ නැව කොළඹ වරායට එන්නේ.

මේ නැව 2021 නිශ්පාදනය කරපු අලුත්ම නැවක්. එක්ස්ප්‍රස් පර්ල් ගිනිගන්න පටන් ගන්නේ පසුගිය මැයි 20 වෙනිදා. මේ ගින්නට හේතුව විදිහට අනුමාන කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්.  ඒ වෙනකොට මේ නැව කොළඹ වරායට ඇතුල් වෙන්න බලාගෙන වරාය පිවිසුමේ ඉඳලා නාවික සැතපුම් 9.5ක දුරින් තමයි නැංඟුරම් ලාගෙන ඉඳලා තිබෙන්නේ. වාර්තාවෙන විදිහට මැයි 15 වෙනිදා තමයි ඉන්දියාවේ හසිරා වරායේ ඉඳලා මේ නැව කොළඹ වරාය දෙසට එන්න පටන් අරගෙන තිබෙන්නේ. නයිට්‍රික් අම්ලය මෙක්ට්‍රික් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1486ක් මේ නැවේ තිබිලා තිබෙනවා. ඉහත වරායන් දෙක මේ බහාලුම් නැවෙන් ඉවත් කරගන්න අවසර ලබාදුන්නා නම් මේ ව්‍යසනය වෙන්නේ නැහැ. නමුත් මේ ලිපිය ලියන මොහොත වනවිට නැව පිපිරිලා අවසන්. මේ වෙනකොට නැවෙන් මුහුදට වැටුණ බහාලුම් සහ සුන්බුන් මීගමුව අවට මුහුදු වෙරළට ගොඩගසමින් තියෙනවා. මීගමුව අවට මුහුදු වෙරළේ පැහැය කළු පැහැයට හැරිලා. මිනිසුන්, රජය අනතුරු ඇඟවීම් කරලා තියෙද්දිත් මුහුදු වෙරළට ගොඩගසාගෙන එන බඩු එකතුකරනවා. අන්ත්‍රරායකර විෂ රසායන මේ හරහා මිනිස්සුන්ගේ ඇගට ඇතුල් වෙන්න පුලුවන්. එය මාරාන්තික විය හැකියි. ඒත් මිනිස්සු බඩු එකතු කරනවා. එක ව්‍යසනයක් මදිවට තවත් එකක්. අලි මදිවට හරක් කිව්වලු.

Express Pearl ship fire rohitha abeygunawardena

මේ වෙනකොට නැවේ කාර්‍ය මණ්ඩලය 25 දෙනා නිරුපද්‍රිතව බේරගෙන තියෙනවා. කාර්‍ය මණ්ඩලයේ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුල් කළා කියලා වාර්තා වෙනවා. ඒ සුළු තුවාල නිසා. මේ දෙන්නගෙන් එක්කෙනෙකුට කොවිඩ් පොසිටිව් කියලත් කියවෙනවා. සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනා කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකරලා තිබෙනවා කියලා වාර්තාවක් නිකුත් කරමින් නැව් සමාගම කියනවා. නැවේ කප්පිත්තා ඇතුලු පිරිස බේරගත්තට මුහුදු පරිසරය නම් බේරා ගැනීම ලේසි වෙන එකක් නැහැ.  හලාවත ඉඳලා පාන්දුරේට යනකම් වෙරළ තීරයට වගේම මුහුදටත් මේක දැවැන්ත විදිහට බලපායි කියලා තමයි පරිසරවේදීන් කියන්නේ. දැනටත් තෙල් පාවී ඒම වැලැක්වීමට පාවෙන දැල් ඇතිරුවා කියලා රජය කියනවා. ඒත් දැන් වෙන්නඕනෑ හානියෙන් 90%ක් සිද්ධ වෙලා ඉවරයි. පරිසරවේදීන් කියන්නේ පොසිල ඉන්ධන මුහුදට එකතුවීම තමයි බරපතලම කියලා. නයිට්‍රික් අම්ලයට අමතරව කෝස්ට්‍රික්සෝඩා, ආලේපන වර්ග, මෙතනෝල්, වයිනයිල් ඇසිටේට් වගේ රසායනික ද්‍රව්‍ය මේ නැවේ තිබිලා තිබෙනවා. ඒත් තෙල් කාන්දුව තමයි වඩාත්ම බයානක. ඒ මොකද අනෙකුත් රසායනික, ප්‍රතික්‍රියා කිරීම නිසා හෝ තනුකවීම හින්දා හෝ නැතිවෙලා යන්න පුලුවන්. හැබැයි තෙල් එහෙම නෑ. ඒක ජලය මතුපිට තරලයක් වගේ රැඳෙනවා. ඒක මුහුදු ජීවීන්ගේ ජීවිතවලට විශාල ප්‍රශ්නයක් වෙන්න පුලුවන් දැනටමත්. මේ හානියට වන්දි අයකරගන්නවා කියලා රජය කියනවා. ඒත් ඉතිං මුහුදට සාගර පරිසර පද්ධතියට වෙරළට වුණ පාරිසරික හානිය නැවත යතාවත් වෙන්න කොච්චර කාලයක් යයිද? පවතින නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වීම අස්සේ මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුලුවන්.

Express Pearl ship fire rohitha abeygunawardena

නැව් සමාගම කියනවා නැව බේරාගැනීම සඳහා කළ හැකි හැම දෙයක්ම කළා කියලා. ඒ ඉන්දියාවේ වෙරළ ආරක්ෂකයින්, ලංකාවේ නාවික හමුදාව, ගුවන් හමුදාව, කොළඹ වරාය, මේ සියල්ලන්ම එකතුවෙලා. එහෙත් අයහපත් කාලගුණය ගින්න මැඬලීමට ඉඩ දුන්නේ නැහැ. ලංකාවෙ අපි අපිට හිමිවෙලා තියෙන විශාල සාගර කලාපය ගැන මාර ලස්සන කතා ගොතනවා. කයිවාරු ගහනවා. ඒත් කිසිම රජයකට මේ සාගර කලාපය ආරක්ෂා කරගන්න ගමන් එහි තිබෙන සම්පත්වලින් රටට ප්‍රයෝජනය ගන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තිබුණේ නැහැ. අපි අද විශාල යුද්ධ හමුදාවක් නඩත්තු කරනවා. ඇත්තට හරිනම් වෙන්න ඕනෑ අපේ නාවික හමුදාව තමයි ශක්තිමත් කරන්න ඕනෑ. අද අපිට මුහුදේ නැවක සිද්ධවෙන ගින්නක් මැඬලන්න ඉන්දියාව නැතුව ඔවුන්ගේ තාක්ෂණය නැතුව බැහැ. අපි කවද්ද මේ ශක්තිය ලබා ගන්නේ. මෙවැනි ව්‍යසන වලින් අපි දැන්වත් පාඩම් ඉගනගත යුතුයි.

-කේ. සංජීව-

Social Sharing

Related posts