බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට රැඳවියන් 260කට පොදු සමාව!

බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැඳවියන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ 2002න් පසුව මෙවැනි සහනයක් හිමිවූ පළමු අවස්ථාව මෙය යැයි මහනුවර මහයියාවේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළේය.

වෙසක් පුර පසළොස්වක පෝ දින නිමිත්තෙන් නිදහස හිමිවූ 260 දෙනා අතුරින් 53 දෙනෙකු මේ වන විට නිදහස ලබා පිටත් වූ බවත් සෙසු පිරිස ඉදිරියේදී නිදහස් වන බව අමාත්‍යවරයා සදහන් කළේය.

බන්ධනාගාරගත වන පුද්ගලයන්ගෙන් සියයට හැත්තෑවක් මත්කුඩු සම්බන්ධ නඩුවලින් වරද කරුවන් වන බව කී අමාත්‍යවරයා ඉන් සියයට හැත්තෑවක් මත් ද්‍රව්‍ය භාවිත කොට වැරදිකරුවන් බවට පත්ව ඇතැයි කීවේය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පවතින නීති දැඩි කොට උපරිම දඩුවම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තමා බන්ධනාගාරය භාර ගන්නා අවස්ථාවේ බන්ධනාගාර තුල පැවැතියේ දැඩි ව්‍යාකූල තත්ත්වයක් බවද ක්‍රමානුකූලව එම තත්ත්වය යහපත් තත්ත්වයට හරවා බන්ධනාගාරය සැබැවින්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට තමන්ට හැකි වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ සදහා හැම විටම හොඳ සහායක් ලබා දෙන බන්ධනාගාර කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට තම කෘතවේදය පුද කරන බවද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම