නුවරඑළිය මහාධිකරණයෙන් මිනීමැරුම් නඩු තුනක් සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකුට මරණ දඬුවම

නුවරඑළිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් පුරා විභාගයට ලක් වූ මනුෂ්‍ය ඝාතන නඩු තුනකට අදාළව වරදකරුවන් වූ පුද්ගලයන් සිව්දෙනෙකුට මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් ඊයේ (02) මරණ දඬුවම නියම කළේය. වසර ගණනාවක් පුරා ඇදී ගිය මෙම නඩු තීන්දුවලින් ප්‍රධාන අපරාධ කිහිපයක සුලමුල අනාවරණය වී ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

1998 වසරේ නානුඔය පොලිස් වසමේදී 57 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 47 හැවිරිදි පොන්නම්බලම් සදීෂ් නැමැත්තාට මෙම නඩුවේදී මරණ දඬුවම නියම කෙරිණි.

එමෙන්ම 2019 වසරේ පට්ටිපොළ ප්‍රදේශයේදී තම මව, බිරිඳ සහ දරුවා ඝාතනය කිරීමේ බරපතල චෝදනාවට වරදකරු වූ 55 හැවිරිදි ආර්.එම්. චන්ද්‍රතිලක නැමැත්තාට ද මරණ දඬුවම නියම කරන ලදී. මෙම නඩු දෙකම නානුඔය පොලිසිය විසින් විමර්ශනය කර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මීට අමතරව 1990 වසරේ බගවන්තලාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 64 හැවිරිදි වීරරත්න සහ 62 හැවිරිදි කරුප්පයියා අන්නදොරෙයි යන පුද්ගලයන් දෙදෙනාට ද මෙම අවස්ථාවේදී මරණ දඬුවම නියම කෙරිණි.

වසර 36කට පමණ පෙර සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග කටයුතු දීර්ඝ කාලයක් පුරා පැවති අතර, එම සිද්ධියට අදාළ යුක්තිය මෙලෙස අවසන් වූ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්