මහින්ද අවුරුදු 17ක් එකතැන විඳෙව්වේ ඇයි?


වසර ගණනාවක් එකතැන් වෙලා ඉඳපු මහින්ද විජේසේකර අද ජීවිතයෙන් සමුගෙන. ඒ ගැන පක්ෂ විපක්ෂ ආදී විවිධ අදහස් පළ වෙන අතරේ මම කාලෙකට කලින් සංවාදයකදි අහපු කතාවක් මතක් වුණා.. ඒ තමයි මහින්ද විජේසේකරට ඔච්චර කාලයක් එක්තැන් වෙලා ඉන්න සිද්ධ වෙන්නට ඇතැයි සැක කළ හැකි කාරණාව.
මහින්දට බෝම්බෙ වදින්නෙ අකුරැස්ස, ගොඩපිටිය පල්ලිය ළඟදි. ඔය බෝම්බෙන් මහින්ද විතරක් නෙවේ ෆවුසි, මහින්ද යාපා, පණ්ඩු බණ්ඩාරනායක වගේ තවත් මැති ඇමතිවරු ගණනාවක් තුවාල ලබනවා. නමුත් මහින්ද විජේසේක⁣ර විතරයි 2009 ඉඳන් අද වෙනකං ඇඳේ විඳෙව්වෙ. එහෙම වුණේ කොහොමද?

මේ කතාව ඇදිලා ආවෙ 2012-13 කාලෙ ගාල්ලෙ තිබුණ EMT (Emergency Medical Technician) Training එකකදි. අපිත් එක්ක ගාල්ලෙ ෆයර් බ්‍රිගේඩ් එකේ සහෝදරවරු කීප දෙනෙකුත් ඒ සැසියෙ හිටියා. ඔවුන් මේ සිදුවීමෙදි ෆීල්ඩ් එකේ වැඩ කරපු අය. එයාලා තමයි කතාව කිව්වෙ.

ඔය බෝම්බෙ ඛේදවාචකයට හදිසි ප්‍රතිචාර දක්වන්න ගාල්ලෙ ෆයර් බ්‍රිගේඩ් එක යනවා. එක්කො නිලවශයෙන් එදා උත්සවයේ රාජකාරි ආවරණය කලේ ඔවුන්. කොහොම හෝ ඒ අය තමන්ගෙ හදිසි ප්‍රතිචාර අතරේ මහින්ද විජේසේකර ඇමතිවරයාව හදිසි ගිලන් ප්‍රවාහන කටයුත්තකට සූදානම් කරනවා. ඔවුන් ඔහුව සම්මත ක්‍රමවේද අනුව බැක්බෝඩ් එකක් උඩ තියලා, බෙල්ට් නරලා තමන්ගෙ ෆයර් වෙහිකල් එකේ මාතර රෝහලට ප්‍රවාහනය කරනවා. අතරමගදී ඔවුන්ගේ වාහනය ඕවර්ටේක් කරන ඇමති ආරක්ෂක අංශයේ පිරිස් ෆයර් වෙහිකල් එකෙන් මහින්ද විජේසේකර ඇමතිවරයාව අන්බෙල්ට් කරලා තමන් පැමිණි බෙන්⁣ස් හෝ මොකක් හෝ සුඛෝපභෝගී වාහනයනට දාගන්නවා. ජාත්‍යන්තරව පිළිගත් සම්මත ක්‍රමවේද අනුව එතෙක් දුර ගෙනා ඇමතිවරයාට එතන ඉඳන් හොස්පිටල් එකට යන්න වෙන්නෙ ඇමති ආරක්ෂකයන්ගෙ උකුල උඩ පතබෑවිලා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය පාඩමක් ගැන හෝ අවබෝධයක් ඇති අයෙකුට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඒ වගේ වෙලාවක බෝම්බ ප්‍රහාරයකට ලක්වුණ රෝගියෙකුගෙ සුෂුම්නාවට මොකක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා.

ඇත්තටම එදා ඇමති ආරක්ෂක නිලධාරීන් ඒ පියවර ගන්න ඇත්තෙ ලොක්කට තිබ්බ ලව් එක නිසා වඩා පහසුවෙන් සහ ඉක්මනින් ඇමතිවරයාව රෝහලට ප්‍රවාහනය කරන්න හිතාගෙන වෙන්න පුළුවන්. නමුත් එදා සිද්ධිය ආවරණය කරපු ගිනිභටයන්ගෙ අදහස වුණේ එදා එහෙම නොවී තමන්ම රෝගියාව ප්‍රවාහනය කලා නම් මහින්ද විජේසේකර ඇමතිවරයාට ඔය අත්දැකීමට මුහුණපාන්න වෙන එකක් නෑ කියලයි. ඒත් ඇත්තටම මොකද වුණේ කියලා දන්නෙ දෙයියො තමයි.

ඇත්තටම මහින්ද විජේසේකර වුණේ ඒකද නැද්ද කියන එක දැන් වැඩක් නෑ. හැබැයි අනතුරකදී රෝගීන් ප්‍රවාහනය සඳහා තාමත් අපේ රටේ නිසි ක්‍රමවේද පාවිච්චි කරන්නෙ ඉතා කලාතුරකින්. මොකද අපට එවැනි අවස්ථා කළමනාකරණය කරන්න හදිසි ප්‍රතිචාර කණ්ඩායම් නෑ. ඉන්නෙ කෝකටත් තෛලෙ වගේ පොලීසියයි,ත්‍රිවිධ හමුදාවයි විතරයි. ඒ අයටත් මේ විෂයය සම්බන්ධයෙන් එහෙමට පුහුණුවක් නෑ මං දන්නා තරමින්. මොකද මෑතකාලෙ පවා ⁣හදිසි ආපදා අවස්ථා කළමනාකරණයේදී ⁣ෆෝසස් කොල්ලො වැඩ කරපු විදිය දැක්කාම ඒක දකින්න ලැබුණා. (ඒක උන්ගෙ අවුලක් නෙවෙයි. ජීවිතේ රිස්ක් එකේ දාගෙන උන් කල හැති උපරිමය කරනනා. ඒත් අදාළ දැනුම උන්ට ලැබිල නෑ. ) මතකද නුවර ලේවැල්ලෙ බිල්ඩිමක් කඩාගෙන වැටුණා. හමුදා සොල්දාදුවෙක් ඒකෙ අනතුරට පත්වෙච්ච දරුවෙක්ව උඩට අරන් එන විදිය ටීවී එකේ දැක්කාම මට හික් ගෑවුණා. “අයියෝ ඒ දරුව ඉවරයි” කියලා මට කියවුණා. ඇත්තටම ඊගාව දවසෙ නිව්ස් එක ආවා ඒ දරුවා මියගිහින් කියලා. එදත් මට මහින්ද විජේසේකර මතක් වුණා. ඊටපස්සෙත් අවස්ථා ගණනාවක මහින්ද විජේසේකරව මතක් වුණා. අද ඔහු මළත් හදිසි ආපදාවක් වෙන හැම වෙලාවකම මට හෙටත් මහින්ද විජේසේකරව මතක් වෙයි. අපේ රටේ හරිහමන් හදිසි ආපදා ප්‍රතිචාර සහ කළමනාකරණ සේවාවක් / යුනිට් එකක් හැදෙනකං එහෙම වෙයි…

මහින්ද විජේසේකර ඛේදවාචකයක්ද නැද්ද මම දන්නෙ නෑ. ඒක ජජ් කරන්න තරම් මම එයා ගැන දන්නෙ නෑ. හැබැයි මහින්ද විජේසේකරට සිද්ධ වෙච්ච දේ ඛේදවාචකයක්. එවැනි දේ නැවත නොවෙන්නයි ඕන.

සටහන සමිත් බෝධිපක්ෂ

Social Sharing
නවතම පුවත්