වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සහ හඬ නැගීම ඕනෑම වෘත්තීය සමිතියක වගකීමක් – සරෝජ් පතිරණ

   

සාමාන්‍යයෙන් එහෙම වෘත්තීය ක්‍රියාකාරකම්වලට එළඹීමේ දී අනුගමනය කරන සම්මත ක්‍රියාදාමයක් තියෙනවා.

නමුත් ලංකාවේ සමහර වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වය දිහා බැලුවම ඒ සමිති පෙනී ඉන්නේ සියලුම සාමාජිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද, නැත්නම් දේශපාලන හෝ වෙනත් යටි අරමුණු ඇතිවද කියලා ලොකු ගැටළුවක් මතුවෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෙතෙන්දි මට මතකයට එනවා. තමන්ගේම කුලයේ පීඩිත, අව වරප්‍රසාදිත, ජූනියර් සගයින් නැත්නම් එතරම් ධනවත් හෝ තමන්ගේ පන්තියට අයත් නැති වෘත්තීය සගයින්ට සිදුවෙන අසාධාරණ වලදී කුම්භකර්ණ නින්දක ඉන්න මේ වෘත්තීය සමිති, දේශපාලන වාසියක් ගන්න අවස්ථාවක් ආපු ගමන් එකපාරටම නින්දෙන් නැගිටලා වැඩවර්ජන පවා සංවිධානය කරනවා. (මෙතෙන්දි මේ කතාවත් නොකිවුවොත් අසාධාරණයි – බීබීසී එකේ වැඩකරද්දී අවුරුදු 25ක් මම සාමාජිකත්වය දරපු වෘත්තීය සමිතිය ගැනත් මට මේ හා සමාන ප්‍රශ්න මතුවුන බවත් ඇත්ත. වෘත්තීය සමිතිය සමහර අවස්ථාවල පෙනී හිටියේ සාමාජිකතත්වය වෙනුවෙන් ද, management එක වෙනුවෙන් ද කියල හිතුණ අවස්ථා තිබුණා.)

මේකට ආසන්නතම උදාහරණ දෙක තමයි නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ බිරිඳ ඝාතනය කරපු වෙලාවේ BASL කැඳවපු වැඩවර්ජනය සහ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කළා කියපු වෙලාවේ GMOA දියත් කළ වැඩවර්ජනය. වැඩවර්ජනයක් කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අවසාන තුරුම්පුව – පළවෙනි ක්‍රියාමාර්ගය නෙවෙයි. ඒ අවසාන ක්‍රියාමාර්ගය ගන්නෙත් සාකච්ඡා මාර්ගයෙන්, පිකට් මාර්ගයෙන් ආණ්ඩුවෙන් හෝ අදාළ ආයතනයෙන් කිසියම් ඉල්ලීමක් කරලා ඒ ඉල්ලීම ඉටු නොවුනම.

නමුත් එදා අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන වහාම වැඩ වර්ජනයක් කැඳවපු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඉතාමත් දුෂ්කර පළාත්වල දවසේ පැය විසි හතරම වගේ සේවය කරන්න සිද්දවෙලා තියන junior doctors ලට, ඉහළ වෛද්‍ය නිලධාරීන්ගෙන් විඳින්න සිද්දවෙන ලිංගික අතවර ඇතුළු අනේකවිධ ගැහැට ගැන නෑසු කන්ව ඉන්න බව ඒ වෛද්‍යවරු මාත් එක්ක කියල තියෙනවා. තවත් ඒ වගේ දුක් විඳින්න බැරුව රට අත්හැර ගියපු වෛද්‍යවරු ගැන මම Sandeshaya by Saroj නාලිකාවෙත් වාර්තා කරලා තියෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හැසිරීමත් ඒකට දෙවෙනි නැහැ. හොඳම උදාහරණ තමයි, මානව හිමිකම් නීතිඥ අචලා සෙනෙවිරත්න දැන් අවුරුදු ගණනක් තිස්සේ මුහුණ දෙන තර්ජන සහ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ට එල්ලවෙලා තියන මරණ තර්ජන ගැන BASL එකේ අද්භූත නිද්‍රාශීලී ආකල්පය.

සරෝජ් පතිරණ

උපුටා ගැනීම TheLeader.lk

 

Social Sharing
අවකාශය පුවත්