
ළමයාට එරෙහිව සිදුවන අපචාර වත්මන් ලෝකය පුරාම සමාජ සංවර්ධනයේදී ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබේ. වයස අවුරුදු 2-17 අතර ළමුන්ගෙන් අඩකටත් වඩා සෑම වසරකම කුමන හෝ ආකාරයක ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි (WHO,2024). මෑතකදී නිකුත් කෙරුණු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2025 දත්ත වාර්තාව සමඟ ළමා අපයෝජනය පිළිබඳ කතිකාවතක් සමාජය තුළ මතුව තිබෙයි. 2025 වසර තුලදී පමණක් ළමා අපයෝජන හා ළමුන්ට එරෙහි අපරාධ සම්බන්ධ පැමිණිලි 10,455ක් වාර්තා වී තිබෙන බව එම දත්ත වාර්තා පෙන්වා දෙයි(NCPA,2025).
ළමයා යනු කවුරුන්ද?
1989 නොවැම්බර් 20වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට අනුව ”නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්” යනුවෙන් අදහස් කර තිබේ (CRC,1989). ශ්‍රී ලංකාවේ ජාතික ළමා ආරක්ෂක පනතට අනුව ළමයෙකු යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකි (National Child Protection Act.). ඒ අනුවල ළමයා යනු අප සංස්කෘතිය තුළ මාපිය ආදරය අපේක්ෂා කරන, මාපියන්ගේ කරුණාව, දයාව හා සමාජයේ ආරක්ෂාව ලැබිය යුතු අයකු බව පෙනී යයි.
ළමා අපයෝජනය හඳුනාගනිමු.
ළමයාගේ අයහපතට හේතු විය හැකි යමක් කිරීම හෝ ළමයාගේ යහපතට හේතු විය හැකි දෙයක් නොකර සිටීම ළමා අපයෝජනයකි (NCPA,2020). මෙම ළමා අපයෝජනය නොසැලකිලිමත් බව කායික, මානසික, ලිංගික හා ළමා මෙහෙකාර සේවය යනාදී වශයෙන් සිදුවිය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව ළමා අපයෝජනයක් යනු, කායික, මානසික, ලිංගික අපයෝජනයන් හෝ නොසැලිකිලිමත්කම හෝ වාණිජමය සූරා කෑමක් හා අනෙකුත් අපයෝජනයන් නිසා ළමයෙකුගේ සෞඛ්‍ය වර්ධනය හෝ ආත්මයට හානි වන අයුරින් කටයුතු කිරීමයි. තවදුරටත් මෙම අපයෝජනයන්, භාරකරුවන් හෝ විශ්වාසවන්තයන් හෝ වගකීමක් ඇති පුද්ගලයන් මඟින් හෝ සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව ළමා අපයෝජන වර්ග කිහිපයක් හඳුනාගත හැකිය (NCPA,2020).
I. කායික අපයෝජන
II. ලිංගික අපයෝජන
III. මානසික අපයෝජන
IV. නොසලකා හැරීම්
V. ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම
මීට අමතරව ළමා වෙළඳාම්, සිතාමතා වස හෝ මත්ද්‍රව්‍යය හෝ ලබාදීම, ළමයින් සිඟාකෑමට සැලැස්වීම, ලිංගික අවයව විකෘතිය ආදී ක්‍රියාවන් ද ළමා අපයෝජන වශයෙන් හඳුනා ගනී.
ළමා අපයෝජනයන්ගෙන් අපට දක්නට ලැබෙන්නේ ඉතා සුළු සිදුවීම් ප්‍රමාණයක් පමණකි. මෙය මුහුදේ පාවෙන හිම කන්දක ඉහළ පමණක් පෙනෙන්නා වැනිය. සැබෑ භයානකත්වය අපට නොපෙනෙන පරිද්දෙන් සැඟවී පවතියි. බොහෝ ළමා අපයෝජන සිදුවීම් තමන්ගේම පවුල තුළ, පෙර පාසලේදී, පාසලේදී හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන වැනි දරුවන් ආරක්ෂිත යැයි සැළකෙන වටපිටාවන්හීදී පවා සිදුවීම ඛේදාන්තයකි.
ළමා අපයෝජනය දරුවන් කෙරෙහි විවිධ අහිතකර බලපෑම් ඇති කරනු ලබන අතර ඒවා සමාජ ගැටලු දක්වාම ගමන් කරනු ලබයි. ශාරීරික වධ වේදනා, ආබාධිත වීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, නව යොවුන් ගැබ් ගැනීම් ආදී කායික ගැටලුද හිසරදය, කෑම අරුචිය, අවතක්සේරුව, පෞර්ෂ දුර්වලතා, මානසික පීඩනය, ලිංගික කටයුතු සඳහා අධික උනන්දුව ආදී මානසික ගැටලුද ළමා අපයෝජනයේ ප්‍රතිඵල විය හැකිය. තවද කොන් කිරීමට ලක්වීම, අපහාස, සමාජයට වෛර කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය හා අනාරක්ෂිත ලිංගික හැසිරීම් වැනි සමාජ ගැටලුද ළමා අපයෝජනයේ අහිතකර බලපෑම් වශයෙන් හඳුනාගත හැකියි.

ළමා අපයෝජනය සහ නීතිය
ළමා අපයෝජන සම්බන්ධව ක්‍රියා කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පියවර ගණනාවක් පවතී. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා විවිධ පනත් සහ ප්රඥප්ති ඉදිරිපත් වී තිබේ. ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා ප්රකාශනය (1924), මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය (1948), එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය (1989) ආදියද ජාත්‍යන්තර වශයෙන් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතර, ශ්‍රී ලංකාව තුළ 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත හා 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, 1939 අංක 48 දරන ළමයින් සහ යෞවනයන් පිලිබඳ ආඥා පනත යනාදියද ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධව වැදගත් වෙයි. මීට අමතරව ළමා අපයෝජනයකදී ජාතික මට්ටමෙන් යොමු විය හැකි ආයතන කිහිපයක් පවතී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, මානව හිමිකම් කොමිෂන් සභාව, ළමා රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනය ඉන් කිහිපයකි.
දණ්ඩ නීති සංග්‍රහයේ ළමා හිංසනයට අදාළව ප්‍රතිපාදන අවස්ථා කිහිපයකම යෙදී ඇත. මෙහිදී දණ්ඩ නීති සංග්‍රහයේ 308 A වගන්තිය තුළින් ළමුන් කායික හෝ මානසික කෘරත්වයට භාජනය කිරීම වසර දෙකකට නොඅඩු හා වසර දහයකට නො වැඩි කාලයක් සඳහා සිරගත කිරීමෙන්ද දඩයෙන්ද දඬුවම් කළ හැකිය. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියට අනුව, වයස අවුරුදු 16ට අඩු ගෑහැනු ළමයෙකු සමඟ ලිංගික සංසර්ගය කිරීම ස්ත්‍රී දූෂණය යටතට ගැනෙන අතර වසර හතකට නොඅඩු හා වසර දහයකට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීමෙන්ද දඩයෙන්ද දඩුවම් කළ හැකිය. මීට අමතරව, ළමයින්ට අදාළව කෙරෙන අසභ්‍ය පළකිරිම්, ළමයින් සිඟමනේ යෙදවීම, මත්ද්‍රව්‍ය වෙළදාමේ යෙදවීම, ගණිකා වෘත්තියේ යෙදවීම, නීති විරෝධී කුලවද්දා ගැනීම, ව්‍යභිචාරය හා බරපතල ලිංගික අපයෝජන යනාදී ක්‍රියා සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදන දක්වා තිබේ.
1995 අංක 22 දරන සාමාන්‍ය විවාහ පනත තුළ දක්වා තිබෙන්නේ, විවාහ වීමේ අවම වයස වයස අවුරුදු 18 වශයෙනුයි. මීට අමතරව 1939 අංක 48 දරන ළමයින් සහ යෞවනයන් පිළිබඳ ආඥා පනත, 1939 අංක 31 දරන අධ්‍යාපන පනතේ අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ විධි විධාන හා 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණයින් සහ ළමයින් සේවයේ නියුක්ත කිරීමේ පනත යනාදියෙහි සඳහන් කවර හෝ විධි විධානයක් උල්ලංඝනය කිරීම නීති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකිය.
නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රජාවන් හා ප්‍රදේශ මූලික කරගත් නීති ක්‍රම මඟින් තවමත් ළමුන්, අවදානමට ලක්වී ඇති ආකාරය හඳුනාගත හැකිය. නිදසුන් ලෙස, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි (MMDA) 23වන වගන්තියට අනුව, වයස අවුරුදු දොළහට අඩු ගැහැණු ළමයෙකුගේ විවාහය ලියපදිංචි කිරීම සඳහා ක්වාසිවරයාගේ (Quazi) කැමැත්ත ලබා ගත යුතු බව දක්වා ඇත. කෙසේ වෙතත්, පාර්ශවයන් අයත් වන නිකායේ අදාළ මුස්ලිම් නීතිය යටතේ විවාහය වලංගු වන්නේ නම්, ක්වාසිවරයාගේ අවසරයකින් තොරව වුවද එවැනි විවාහයක් මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 16වන වගන්තිය යටතේ වලංගු යැයි සැලකිය හැකිය.
දරුවා අපයෝජනයෙන් වැළැක්වීමට
ළමා අපයෝජනය ලෝකයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් වඩාත් ප්‍රචලිත එකක් ලෙස පවතී. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (CRC,1989) අනුව, සෑම දරුවෙකුටම ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් වීමේ අයිතිය හිමි වන අතර, යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරන පරිදි, “සෑම දරුවෙකුටම ඕනෑම ආකාරයක ප්රචණ්ඩත්වයකින් සහ සූරාකෑමකින් ආරක්ෂා වීමට අයිතියක් ඇත” (UNICEF). දරුවන් ආරක්ෂා කිරීම සදාචාරාත්මක බැඳීමක් පමණක් නොව ගෝලීය ප්‍රමිතීන්ට අනුව මූලික මානව අයිතියක් බව මෙමගින් අවධාරණය කරයි. මෙම ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා රජයන්ගේ සහ ජාත්‍යන්තර සංවිධානවල කැපවීම පමණක් නොව, සෑම පුරවැසියෙකුගේම ක්‍රියාකාරී වගකීම ද අවශ්‍ය වේ.
මෙරට සිදුවන සෑම ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීමට හැකියාව පවති. ඔවුන්ගේ ක්ෂණික දුරකථන අංකය වන්නේ 1929 වේ.

සටහන පවනි අමා
