අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම: අප මෙතෙක් දන්නේ මොනවා ද?

අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා ‘සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති නීතිඥවරයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර නැතැයි’ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පැවසීය.

ඝාතනයට ලක් වූ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණිය සුද්දා නමැත්තාගේ නීතිඥවරයා බවටත් ඔහු පිළිබඳව වෙනත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන තැනැත්තෙකුට නීතිඥවරයා තොරතුරු ලබා දීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත් පොලිසිය පැවසූ බව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබුණු අතර ඒ පිළිබඳව කළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කළේ ය.

“ඒ පිළිබඳව සමාජයේ යනවා එක එක දේවල්. නමුත් පොලිසියෙන් ඒක කියලා නැහැ,” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.

 

ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 10ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඝාතනයට ලක් වූ මෙම නීතිඥවරයාට මරණ තර්ජන තිබී ඇති බවට අනාවරණය වී ඇත්දැයි බීබීසී සිංහල පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා ගෙන් විමසූ අතර; “නෑ තව ම නැහැ. ඒවා තමයි හොයාගෙන යන්න ඕනේ,” යනුවෙන් ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

 

සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

මෙම අපරාධය සිදු කිරීමට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බව දැනට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසි පැවසීය.

ඒ අනුව, ඝාතනය සිදුවූ පෙබරවාරි 13 වන දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරාවල සැකකරුවන් පැමිණ ඇති බවට සැක කෙරෙන EP KI 7738 දරණ කාර් රථය ගමන් කරන ආකාරය සටහන් වී ඇති දැයි පරීක්ෂා කර බලා ඒ බව 071 8598008 (නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව) හෝ 071 8592279 (අධ්‍යක්ෂ / බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය) යන දුරකතන අංක වෙත දැනුම් දෙන පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

තොරතුරු ලබා දෙන්නන්නගේ පූර්ණ රහසිගතභාවය සුරකින බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ඝාතකයින් පැමිණි බවට සැක මෝටර් රථයක් බද්දේගමින් සොයා ගැනේ

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කෙරෙන මෝටර් රථයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිනි ගනිමින් තිබියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.

නීතිඥවරයාගේ දේහය පිටිගල නිවසට

ඝාතනයට ලක්වූ නීතඥ බුද්ධික මල්ලවආරච් සහ ඔහුගේ බිරිඳගේ දේහ ගොඩමුණ – පිටිගල පිහිටි නිවස වෙත ගෙන ඒමට සූදානම් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

 

T 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් යොදා ගනිමින් සිදු කළ ඝාතනය

වීඩියෝ ශීර්ෂ වැකිය, අකුරේගොඩ වෙඩි තැබීම ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය කෙරිණි.

T 56 අවියක් සහ පිස්තෝල අවියක් යොදා ගෙන මෙම ඝාතනය සිදු කර ඇතැයි දැනට කර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇති බව සිදුවීම සම්බන්ධයෙන් පෙබරවාරි 14 වන දා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 10ක් විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

නීතිඥ සංගමයේ ඉල්ලීම

මෙම සිදුවීම දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

මෙවනි සිදුවීම මගින් නීතියේ ආධිපත්‍යය බරපතළ තර්ජනයකට ලක් වන බව එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගලහේනගේ අත්සනින් නිකුත් ඇති එම නිවේදයේ දක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

 

වසර 14කට පසුව නීතිඥ සංගමය මහ සභා රැස්වීමක් කැඳවයි

මෙම සිදුවීම සම්බන්ධව වසර 14කට පසුව සියලු සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මහා සභා රැස්වීමක් කැඳවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය පෙබරවාරි 14 වන දා කැඳවූ විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

“අපේ නීතිඥ සංගමයේ ඊළඟ පියවර ඒ රැස්වීමේදී තමයි තීරණය වෙන්නේ. මේ රැස්වීම අපි කැඳවන්නේ 2012න් පස්සේ. අන්තිමට එවැනි රැස්වීමක් අපි කැඳෙව්වේ ඒ කාලේ හිටපු අග්‍රවිනිශ්චකාරතුමිය, ශිරාණි බණ්ඩාරනායක මැතිතුමියගේ දෝෂාභියෝග ප්‍රශ්නය නිසා.”

 

‘එහෙම පද්ධතියක් මේ රටේ නැහැ, ඒ කැළෑ නීතිය’

සිද්ධියක් සිදුවූ වහා ම ඒ පිළිබඳව නිගමන ජනගත කිරීම අපරාධ යුක්තිය පසිඳලීමට බරපතළ තර්ජනයක් බව නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ය.

“මේ සිද්ධියෙන් පස්සේ මාධ්‍ය දිහා බැලුවොත්, සමාජ මාධ්‍ය දිහා බැලුවොත් වෙන වෙන තර්ක ඉදිරිපත් වෙනවා. මොකක් ද මේ සිද්ධියට හේතුව. එහෙම පද්ධතියක් මේ රටේ නැහැ, ඒ කැළෑ නීතිය.”

“අපේ උසාවි ක්‍රමයේ තියෙන්නේ මොකක් හරි, කවුරු හරි කරලා තියෙනවා නම් ඒ වරද විනිශ්චය කරලා තීරණයක් ගන්න. එහෙම හේතු සාධක ඉදිරිපත් වෙන්න පුළුවන් නම් එතකොට අපිට නීති පද්ධතියකුත් අවශ්‍ය නැහැ. ඊට අමතරව සදාචාර විරෝධීයි,” ඔහු පැහැදිලි කළේ ය.

මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන එවැනි ප්‍රචාර සම්බන්ධයෙන් ද නීතිඥ සංගමය ක්‍රියාත්මක වන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.

 

සමාජ මාධ්‍යවල පළ වී ඇති අදහස්

මෙම සිදුවීමෙන් කෙටි වේලාවකට පසු ඝාතනයට ලක් වූ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධ තොරතුරු මාධ්‍ය මගින් මෙන් ම සමාජ මාධ්‍යවල ද පළ විය.

ඝාතනයට ලක් වූ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණිය සුද්දා නමැත්තාගේ නීතිඥවරයා බවටත් ඔහු පිළිබඳව වෙනත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන තැනැත්තෙකුට තොරතුරු ලබා දීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත් පොලිසිය පැවසූ බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ඒවා අතර නීතිඥවරුන් මෙන් ම වෙනත් පාර්ශව ද මෙම ඝාතනය පිළිබඳව සමාජ මාධ්‍යවල අදහස් දක්වන අයුරු බීබීසීයට නිරීක්ෂණය විය.

“දරා ගන්න අමාරුයි මිත්‍රයා SI. අපිට පහළ බැච් එකේ හිටපු උඹ අධිවේගී ගමනක් ගියෙ මිත්‍රයා. කොළඹ විශ්වවිද්‍යාලයේ දරුණු ලෙස පසමිතුරුතා උග්‍ර වුණ කාලෙක උඹට පුළුවන් වුණා එකිනෙකා අතර මිත්‍රත්වයේ දැලක් එලන්න. උඹේ මරණය දක්වා ම තිබ්බෙ අන්න ඒ මිත්‍රත්වයේ දැල,” නීතිඥ දුලාන් දසනායක ලිවීය.

ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය ද ෆේස්බුක්හි අදහස් දක්වා තිබිණි: “අද මහ පාරේ සිය ගාණක් මිනිස්සු ඉස්සරහා වෙඩි තියලා මරලා තියෙන්නේ විශ්වවිද්‍යාලේ මගේ දයාබර යාළුවෝ දෙන්නෙක්. සමහර ෆේස්බුක් පේජ්වල දාලා තියෙන්නේ බුද්ධික පාතාලේ අය වෙනුවෙන් පෙනී හිටපු නිසා මේ විදිහට ඝාතනය වුණාට කමක් නැති කෙනෙක් විදිහට. එහෙම කියලා මිනීමැරුමක් සාධාරණීකරනය කරන්න බෑ.”

“මරා දාපු නීතිඥවරයා හිතපු දේ පවා පොලිසිය දන්නවා. හැබැයි තමන්ගෙ රාජකාරිය විතරක් දන්නෙ නැහැ,” අජිත් පැරකුම් ජයසිංහ තැබූ සටහනක සඳහන් විය.

“මැරුණොත් පාතාලේ… පොලිසියට ඔච්චර තොරතුරු තිබුණා නම් ඇයි එයාට ආරක්ෂාව හරි අනතුරු ඇඟවීමක්වත් නොකර වෙඩිකනකම් බලන් හිටියේ?,” තවත් පරිශීලකයෙක් ෆේස්බුක්හි සඳහන් කර තිබිණි.

ඇතැම් පරිශීලකයින් ඊට වෙනස් අදහස් පළ කර ඇති අයුරු ද බීබීසීයට නිරීක්ෂණය විය.

“නීතියයි පාතාලයයි එක් වුණ තැනක්. කළ කම් පල දේ,” එක් පරිශීලකයෙක් ලිවීය. තවත් සටහනක; “මිනීමැරුවො, පාතාල කල්ලි අපරාධ කල්ලිවල මුදල්වලින් යැපෙන කළු කෝට් කාරයන්ගේ ඉරණම,” යනුවෙන් සඳහන් විය.

“නීතීඥ ප්‍රජාව නොමැතිව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් සාර්ථකව ක්‍රියාත්මක කළ නොහැක. නීතිඥවරුන් පෙනී සිටින්නේ සේවාදායකයන් වෙනුවෙන් ය. ඒ පෙනී සිටීම් වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු නොවිය යුතු ය,” නීතිඥ තිෂ්‍ය වේරගොඩ ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබිණි.

BBC සිංහල

Social Sharing
අවකාශය නවතම