අධිකරණ ප්‍රමාදය අවම කිරීමට තීරණාත්මක පියවරක්: කිලෝවට අඩු මත්ද්‍රව්‍ය සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්නැයි මහෙස්ත්‍රාත්වරුන්ට නියෝග

වසර ගණනාවක් පුරා ඇදී යන මත්ද්‍රව්‍ය නඩු කඩිනම් කිරීම සඳහා ඉවහල් වන ඉතා වැදගත් සාධනීය පියවරක් මේ වන විට ගෙන තිබේ. ඒ අනුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහෙස්ත්‍රාත්වරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය සිදුකළ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකළ වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ, 1981 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති, කිලෝ ග්‍රෑම් එකට අඩු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය සාම්පල විශාල ප්‍රමාණයක් තවදුරටත් එහි ගබඩා කර ඇති බවයි.

මෙම ගොඩගැසී ඇති සාම්පල හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත නව සාම්පල සඳහා ගබඩා පහසුකම් සැපයීමට බාධා පැමිණ තිබේ. බොහෝ නඩුවල විභාග අවසන් වී හෝ සාම්පල පරීක්ෂණ අවසන් වී තිබියදීත්, නීතිමය ක්‍රියා පටිපාටි හේතුවෙන් මෙම සාම්පල දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට සිදුවීම ගැටලුවට මුලික හේතුවයි.

මෙම ඉල්ලීම සලකා බැලූ අධිකරණ සේවා කොමිෂන් සභාව, පරීක්ෂණ අවසන් කර ඇති කිලෝග්‍රෑම් එකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල වහාම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය අධිකරණමය කටයුතු සිදුකරන ලෙස සියලුම මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැක සහිත ඕනෑම ද්‍රව්‍යයක් නීත්‍යානුකූලව “මත්ද්‍රව්‍යයක්” ලෙස අධිකරණයට තහවුරු කිරීමට නම්, ඒවා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම අනිවාර්ය වේ. එහිදී සිදු වන්නේ, එම සාම්පල රසායනික විශ්ලේෂණයකට ලක් කර, එහි ස්වභාවය, වර්ගය සහ නිශ්චිත බර තීරණය කිරීමයි. මෙම පරීක්ෂණවල ප්‍රතිඵලය රස පරීක්ෂක වාර්තාවක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරයි. මෙය නඩුව ඉදිරියට ගෙන යාම සඳහා වූ තීරණාත්මක සාක්ෂියක් වන අතර, මෙම වාර්තාව නොමැතිව නඩු විභාග ආරම්භ කිරීමට හෝ නීතිමය තීරණ ගැනීමට නොහැකිය. එබැවින්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ප්‍රමාද වීම හෝ පරීක්ෂණ අවසන් වූ සාම්පල ඉවත් නොකිරීම නිසා ගබඩා තදබදය ඇතිවීම, සමස්ත නඩු විභාග ප්‍රමාද වීමට සහ එම නඩුවලට අදාළ සැකකරුවන් රිමාන්ඩ් භාරයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

Social Sharing
අවකාශය නවතම