බන්ධනාගාර අමානුෂික තත්වයක! සිරකරුවන් 40,000ක් දක්වා ඉහළට? කොමසාරිස් මරණ දඬුවම ඉල්ලයි

බන්ධනාගාර තුළ පවතින දරුණු තදබදය සහ සිරකරුවන්ට වාඩිවීමටවත් ඉඩක් නොමැති අමානුෂික තත්වය බන්ධනාගාර කොමසාරිස්වරයා විසින්ම අවධාරණය කර තිබෙන අතර, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බවට ඔහු කළ ඉල්ලීම රටේ යුක්ති ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතල තත්වයක් මතු කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන “නොයා යුතු තැන” දේශන මාලාවේ 435 වන වැඩසටහන නාවලපිටිය නගරයේදී පැවති අවස්ථාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

බන්ධනාගාර තුළ දරාගත නොහැකි තත්වය

කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 36 තුළ රඳවා තැබිය හැකි උපරිම සිරකරුවන් හා සැකකරුවන් ප්‍රමාණය 10,500ක් වුවද, දැනටමත් 36,000කට අධික ප්‍රමාණයක් සිටින බවයි. කොමසාරිස්වරයාගේ දේශනයට අනුව, බන්ධනාගාර ගතව සිටින 36,000කට අධික පිරිසෙන් 65%ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා බන්ධනාගාර ගත වූ අයයි.

එමෙන්ම, පොලීසිය හා ආරක්ෂක අංශ මේ දිනවල සිදු කරන මත්ද්‍රව්‍ය හා අපරාධ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර ගතවන පිරිස 40,000 දක්වා ඉහළ යා හැකි බවට කොමසාරිස්වරයා අනතුරු අඟවා සිටියේය.

මෙම තත්වය තුළ සිරකරුවන් හා සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ට සිර කුටිවල අඩුම තරමේ වාඩි වීසිටීමටවත් පහසුකම් සැපයීමට නොහැකි වන බවත්, එනිසා බන්ධනාගාරය කිසිදු විටක නොයා යුතු තැනක් බවත් කොමසාරිස්වරයා අවධාරණය කළේය. සිරකරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය වන, දරාගත නොහැකි මෙන්ම අමානුෂික තත්වයක් මේ හරහා නිරූපණය වේ.

 

මරණ දඬුවම ඉල්ලීම බරපතලයි

මීට අමතරව, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා දේශපාලන අධිකාරිය අමතා කළ ඉල්ලීමක් මෙහිදී අවධාරණය විය.

“මේ රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුමයි කියලා බන්ධනාගාර කොමසාරිස් කිව්වා කියලා (ජනාධිපතිවරයාට කියන්න). ඔවුන් විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා මං හිතනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි කියලා.”

බන්ධනාගාර පද්ධතිය තුළ පවතින තදබදය හා එහි අමානුෂික තත්වය පිළිගන්නා නිලධාරියකු, සිරකරුවන් එල්ලා මැරිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඉතාමත් බරපතල තත්වයකි. ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති පසුබිමක, බන්ධනාගාර කොමසාරිස්වරයා වැනි ඉහළ නිලධාරියෙකු විසින් මෙවැනි ඉල්ලීමක් කිරීම යුක්තිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් බලවත් ගැටලු මතු කරයි.

සාධාරණ යුක්ති ක්‍රියාමාලාව – Fair Justice Campaign

Social Sharing
අවකාශය නවතම