පොල් ලෙලි, කොහු සහ ජීවිතේ …!

” මට මතක හැටියට මේ හතලිස් හතේ හතලිස් අටේ විතර. හැම සඳුදාම උදේට මම උණවටුනේ ඉඳන් ගාල්ලෙ මහින්දෙට ඉස්කෝලේ යන්න බයිසිකලෙත් එක්ක මහ පාරට බහිද්දි ලුසි හාමි අක්කා කියන වයසක අම්මා මට මුණගැහෙනවා. “අනේ මහත්තයෝ හාල් සේරුවක් ගන්න කීයක් හරි දෙන්න” කියලා මගෙන් ඉල්ලනවා. ඉතිං මට කෑමක් ගන්න ගෙදරින් දුන්න සත විසිපහ එයාට දෙනවා.ඒ කාලේ හාල් සේරුවක් සත විසිපහයි. වාසනාවකට මගේ පන්තියේ ළමයි විවේක වෙලාවෙදි මට වඩෙයි ප්ලේන්ටියි අරන් දෙනවා.

දවසක් මම වෙරළ දිගේ ඇවිදිනකොට දැක්කා ලුසි හාමි අක්කාගේ පැල්පතේ අක්කා කොහු අඹරනවා. ඉතිං මම ලඟට ගිහින් ඇහුවා “ලුසි හාමි අක්කේ ඔයා කොහු අඹරනවානේ ඇයි එහෙනං මගෙන් හැමදාම සල්ලි ඉල්ලන්නේ ” කියලා. “ අනේ මහත්තයෝ අතේ ලේ යනකම් අඹරලත් මුළු සුමානෙම හම්බෙන්නේ 2.50 යි”

මම කොහු ලණු ගන්න මුදලාලිව හොයන් ගිහිං ඇහුවා කොහු ලණු ගාල්ලට විකුණන්නේ කීයටද කියල. 7.50 ට.පස්සේ ගාල්ලේ කොම්පැනියට ගිහිං හෙව්වා. ඒ ගොල්ලෝ ඒවා විකුනන්නේ රුපියල් 16 කට. එතනින් පස්සේ මම කොහු කාර්මිකයන්ගේ සමූපකාර සමිතියක් හැදුවා. ගමේ කොහු අඹරණ දුප්පත් ගැහැණු 80 දෙනෙක් විතර සාමාජිකයෝ වුණා. තාත්තා සල්ලි ටිකක් දුන්නා. අපේ බාප්පා කෙනෙකුට කියලා කොහු අඹරන්න පොඩි මඩුවක් හැදෙව්වා.

ඉතිං මගේ ජීවිතේ මුල් වතාවට කොළඹ ආවේ අපේ සමූපකාර සමිතිය ලියාපදිංචි කරන්න.නිදහසින් පස්සේ පත් කරපු මුල්ම ආණ්ඩුවේ සමූපකාර හා ස්වදේශ කටයුතු ඇමති අබේරත්න රත්නායක මට මුලින්ම මුණ ගැහෙන්නේ එතැනදී.

පස්සේ කාලේ මම නාලන්දා විද්‍යාලයේ උගන්වන කාලේ ශිෂ්‍යයින් එක්ක එකතු වෙලා ශ්‍රමදාන ව්‍යාපාරයක් පටන් ගත්තා. අපේ පළවැනි වැඩසටහන සිද්ධ කලේ කුල හීන ගම්මානයක් වුන කනතොළුව ගමේ. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයට අඩිතාලම වැටෙන්නේ එතනදී.ඒ ගමේ ගැහැණුන්ට ගමෙන් එලියට යනකොට හැට්ට ඇඳගෙන යන්න තහනම්. ඒ මිනිස්සු දානේ අරගෙන පන්සලට ගෙනිච්චහම හාමුදුරුවෝ දානේ බාරගත්තේ නැහැ. ඒ මිනිස්සු දානේ ගල උඩ තියල ආවේ. පස්සේ ඒවා බල්ලෝ කනවා.

කොහු කාර්මිකයන්ගේ සමූපකාර සමිතියෙන් පටන් ගත්ත වැඩේ පස්සෙ ගම්මාන 15,000 ක කුල පීඩනයට , දුප්පත්කමට, සූරාකෑමට විරුද්ධව සටන් කරන ව්‍යාපාරයක් බවට පත් වුනා”

උපුටනය අවසන්
…………………………………………………………………………………………

ඉහත මා උපුටා දක්වා ඇත්තේ මාලතී ද අල්විස් සහ හසිනි හපුතන්ත්‍රී විසින් සංස්කරණය කරන ලද “මතක සංචිතය- 70 වසරක නිදහසේ ප්‍රත්‍යාවලෝකනය ” නම් පොතේ 16 වැනි පිටුවේ දැක්වෙන ඒ. ටී ආරියරත්න මහතාගේ මතක සටහනයි. එහි කියවෙන්නේ ආරියරත්න මහතාට තම දීර්ඝ සමාජ සේවක යුග මෙහෙවර ආරම්භ කිරීමට ආවේගය දුන් සිදු වීම පිළිබඳවය.

බ්‍රිතාන්‍ය පාලන යුගයේ පළමු කාර්තුව අවසන් වූයේ පහතරට ස්වදේශිකයන්ගෙන් යම් සැලකිය යුතු කොටසකට අලුත් ආර්ථික ඉඩ ප්‍රස්ථා විවෘත වීමෙනුත් ඒවා ඔස්සේ සාර්ථකව ධනය ඒකාරාශි කල අයගෙන් සැදුම් ලත් අලුත් ධනපති පන්තියක් බිහි වීමෙනුත්ය. මේ අලුත් ධනපති පන්තියේ කුල සංයුතිය අනුව ගත් කල කරාව, දුරාව සහ සලාගම කුල වල එතුල නියෝජනය තම ජනගහන ප්‍රතිශයට වඩා වැඩි වූයෙන් මේ අලුත් ආර්ථික සංචලනය පහතරට ගොවිගම නොවන කුල ත්‍රිත්වයේ පුනර්ජීවනයක් ලෙස හැඳින්වීමෙහිද වරදක් නැත. මෙහිදීත් කරාව කුලය වඩාත්ම ප්‍රමුඛ වූ බව කිව යුතුය. මේ ධනපති පන්තියේ ඉහලම තීරුව සමන්විත වූයේ රජයේ විවිධාකාර රේන්ද පිළිගැන්වීම් ලබා ඒවායින් පොහොසත් වුනු වෙළඳ පන්තියෙනි. ඒ අතුරිනුත් අරක්කු රේන්ද ව්‍යාපාරය ඉතාම ලාභදායි අංශය විය. මේ හැරුණු කල ආණ්ඩුවට විවිධාකාර සැපයුම් ලබා දීම, වරාය සැපයුම්, වතු ව්‍යාපාර, යනාදියෙන් ද මේ පැලැන්තියට සහ ඊට අනුබද්ධිතව සම්පාදනය වුනු ව්‍යාපාරික පිරමීඩයට ධනය ලැබිණි. ධනයට සමාන්තරව සමාජ තත්වයද, අධ්‍යාපනයද, රජයේ විවිධාකාර රැකියා අවස්ථා සහ මේ සියල්ලේ අනුකලයෙන් දේශපාලන ශක්තියක්ද මේ පැලැන්තිය වටා ආරෝපණය වී තිබිණ.

මේ ධනපති පැලැන්තියේ ඉහලම තීරුව පිලිබඳ ප්‍රමාණවත් තරම් සාහිත්‍යයක් ලංකාව තුල නිෂ්පාදනය වී තිබේ. දශක ගණනාවක සිට මේ වන තෙක්ම එම විෂය කලාපය බොහෝ සමාජ විද්‍යා සහ ඉතිහාස පර්යේෂණ වලටද මූලික වෙමින් තිබේ. එහි ඉහලින්ම සිටි සුවිශාල ධනවතුන් ගැනද, දෙවන සහ තෙවන මට්ටම් වල චරිත පිළිබඳවද ප්‍රමාණවත් තරම් ලියවී තිබේ.

ඉහත ඒ. ටී ආරියරත්න මහතාගේ අතීත මතක අනුස්මරණයෙන් කියවෙන්නේ මේ පිරමීඩයේ පාදම මට්ටමේ සිටි ගැහැණියක පිලිබඳවය. මුළු සතියම පුරාම, අත පහුරු යන තෙක් පොල් ලෙලි තැලූ මේ ගැහැණියගෙන් ඒවා රුපියල් 2.50 ට මිලදී ගෙන තවත් රුපියල් පහක ලාභයක් තබාගෙන විකිණූ ගමේ මුදලාලි කෙනෙකු ගැනද තව දුරටත් එම සටහනේ සඳහන්ය. උක්ත කී ආර්ථික පිරමීඩයේ පහල සිට මීළඟ මට්ටම ලෙස සැලකිය හැක්කේ ඔහුය.

මගේ මවගේ පියාත්, ඔහුගේ පියාත් මෙන්න මේ වර්ගයේ මුදලාලිලාය. මේ සටහන ලියවෙන්නේ ඒ දෙපල සහ ආශ්‍රිතයන් පිලිබඳවය.

………………………………………………………………………………………….

එක්දහස් හත්සිය අග ගණන්(1700) හෝ එක් දහස් අටසිය මුල් ගණන් වල(1800) , එනම් ලංකාවේ දකුණු දිග මුහුදු බඩ පළාත් ලන්දේසීන් විසින් අල්ලාගෙන සිටි අවසාන කාලයේ හෝ උඩරට හැරුණු කල රටේ අනෙකුත් ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් අල්ලාගත් මුල් කාලයේදී මාතරට නුදුරු මිරිස්ස උඩුපිල ග්‍රාමයේ උපත ලද දොන් ඒබ්‍රහම් කොරනේලිස් සේනාරත්න ගෙනි මේ කතාව පටන් ගන්නේ. දුරාව වංශික, පාරම්පරික වෙද පරම්පරාවකට අයත් වුනු ඔහු පළාතේ ප්‍රකට අධ්‍යාපනඥයෙක්ද විය.

දහනම වන ශතවර්ෂයේ යටත් විජිත කුල සාහිත්‍ය විසින් දුරාව කුලයට අයත් රාජකාරිය රා මැදීම ලෙස දැක්වුවද එදත් අදත් දුරාව කුලැත්තන්ගේ ඒ කෙරෙහි තිබෙන්නේ ප්‍රභල විරෝධයකි. ඔවුනට අනුව ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය වුයේ ගුරු වෘත්තියයි. මීට අමතරව වෙදකමද, ලිවීමද (කුමාරණතුංග මුනිදාස ප්‍රමුඛ බර ගණනක් වන දුරාව වංශික භාෂා ශාස්ත්‍රඥයන් සිහි වේ) , පැරණි රජවාසල ලේඛණ තැබීම සහ පවත්වාගෙන යාමද (දුරාව වංශිකයන් වන කීර්තිමත් ලේඛණාරක්ෂක ප්‍රධානී තැන් වුනු ආචාර්යය කේ.ඩී.ජී විමලරත්නයන් සහ ආචාර්යය ලොර්නා ශ්‍රීමති දේවරාජා මැතිණියන් සිහි වේ) දුරාවේ රාජකාරීන් වුනු බව ඔවුන්ගේ විශ්වාසයයි. කෙසේ වෙතත් දකුණු පළාතේ ලන්දේසි ඉතිහාසය පිරික්සන විට පැහැදිලි වන්නේ අධ්‍යාපනය සහ ලේඛණය පිලිබඳ විශේෂ උරුමයක් දුරාවුන්ට තිබුණු බවය.

අදටත් මිරිස්ස පළාතේ ජනප්‍රියම පාසල වන මිරිස්ස මහා විද්‍යාලය 1850 දී ආරම්භ කරන්නේ මේ කියන දොන් ඒබ්‍රහම් කොරනේලිස් සේනාරත්න විසිනි. තමන් අත වූ මුදලින් මිරිස්සේ ගාලු පාර අයිනේ ඉඩමක් මිලදී ගන්නා ඔහු එතැන තම පාඨශාලාව ආරම්භ කරන විට ඕල්කට්-ධර්මපාල පාසල් ව්‍යාපාරය පවා ආරම්භ වී තිබුනේ නැත. 1868 දී පමණ පාසල පුළුල් කිරීමට අවශ්‍ය වූ බැවින් එය මෙතැනින්, පාර එහා පැත්තේ මුහුද අසබඩ විශාල ඉඩමකට ගෙන යන අතර 2004 සුනාමි ව්‍යසනයෙන් සහමුලින් විනාශ වන තෙක් එය තිබෙන්නේ එතැනය. 1871 දී මිරිස්ස මහා විද්‍යාලය රජයේ ආධාර ලබන පාසලක් ලෙස ශ්‍රේණිගත වුනු තිබෙන අතර එතැන් පටන් ජෝන් බ්ලොක් නමැති යුරෝපීය ජාතික මහතකු එහි ප්‍රධාන ගුරු තනතුරට පත් වන තෙක් එම පාසලේ ප්‍රධානත්වය දරා ඇත්තේද දොන් ඒබ්‍රහම් කොරනේලිස් සේනාරත්න මුල් ගුරුතුමා විසිනි. මේ පාසල මගින් කිසිදු බේදයක් නොමැතිව ඉතා ප්‍රශස්ථ මට්ටමේ අධ්‍යාපනයක් පළාතේ දරුවන්ට ලැබිණි. විශේෂයෙන්ම ඉංග්‍රීසි හොඳින් උගත් දීප්තිමත් පැලැන්තියක් එකල මිරිස්ස පළාත අවට ඇති වූයේ මේ පාසලේ හට ගැනීම හේතුවෙනි.

දොන් ඒබ්‍රහම් කොරනේලිස් සේනාරත්නයන්ගේ වැඩිමහල් පුත්‍රයා වූයේ ඩැනියෙල් සේනාරත්නය. පාරම්පරික උරුමය අනුව යමින් මුලදී වෙද මහත්මයෙක් ලෙස කටයුතු කල ඔහු ඉන් පසුව යොමු වූයේ එකල පැවති බ්‍රිතාන්‍ය ආර්ථික දැති රෝදය විසින් දකුණු දිග පළාත් වල බිම් මට්ටමේ ග්‍රාමීය ප්‍රභූන්ට විවර කොට තිබුණු එක් ඉඩ ප්‍රස්ථාවක් දෙසටය. එය නම් ඉහත ඒ.ටී ආරියරත්න මහතා සඳහන් කරන කොහු ලණු ව්‍යාපාරය දෙසටය.

කොහු ලණු කර්මාන්තය මෙරටට යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දෙන ලද්දක් නොවේ. අඩුම තරමේ එහි ඉතිහාසය දහතුන් වන ශතවර්ෂය දක්වා දිව යන බව ඉතිහාසඥයන්ගේ මතයයි. යටත්විජිතවාදීන්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් කලේ එය විධිමත් සහ මහා පරිමාණ ලෙස ව්‍යාප්ත කිරීමයි. එකල “මලබාර් ලණු ” යනුවෙන් හැඳින්වුණු ලංකාවේ සහ කේරළයේ නිෂ්පාදනය කල කොහු ලණු, නාවුක යාත්‍රා සඳහා යොදා ගන්නා ලද අනර්ඝතම ලණු වර්ගයය යයි කියනු ලැබේ. ඊට අමතරව එය මසුන් මැරීමේ කර්මාන්තයේදී නැතුවම බැරි දෙයක් විය. ලන්දේසීන් විසින් ලංකාවේ බටහිර හා දකුණු දිග වෙරළ තීරයේ මත්පැන් පෙරීමේ කර්මාන්තය වට කිහිපයකින් පුළුල් කොට, පොල් වගා කිරීමද ප්‍රසාරණය කල බැවින් කොහු ලණු කර්මාන්තයද යම් ලෙසකින් විධිමත් කල බව සිතිය හැකිය. මේ වන විට කොහු ලණු යුරෝපීය වෙළඳපලටද නැතුවම බැරි පාර්භෝගික භාණ්ඩයක් බවට පත් වී තිබිණ. කොහු ලණු වලින් වියන ලද බුමුතුරුණු ඉතා හොඳින් උණුසුම ආරක්ෂා කල අතර යුරෝපයේ සීත කාලවලදී පොහොසත්කමින් අඩු ජනයාට එය ඉතා හොඳ බිම් පොරෝණයක් විය. මෙවැනි ප්‍රයෝජන වලට අමතර කොහු ලණු වලින් සාදන ලද බුරුසු , පා පිස්නා වැනි දේට බ්‍රිතාන්‍යයන් විසින් නව වෙළඳපලක් නිර්මාණය කොට තිබිණි.

කොහු නිෂ්පාදනය සහ ලණු ඇඹරීමට ඍජුවම ප්‍රාග්ධනයක් යෙදවීම බ්‍රිතාන්‍යයන්ට එතරම් ලාභදායක නොවුණු අතර තත්වයෙන් උසස් නිෂ්පාදනයක් කිරීමේ ශිල්පීය නිපුණත්වය සහ පළපුරුද්ද තිබුනෙත් ස්වදේශිකයන් අතේය. ඉතින් බ්‍රිතාන්‍ය සමාගම් කලේ තමන්ගේ නියෝජිත මධ්‍යස්ථාන දකුණු පළාතේ ඇති කොට ඒවායේ ඒජන්තයන් ලෙස ස්වදේශික ග්‍රාමීයයන් පත් කොට ඔවුන් ලවා තොග ක්‍රමයට ලණු ලබා ගැනීමයි. මෙය , මෙම පළාත් වල ඉංග්‍රීසි උගත් , තරමක් ඉදිරියෙන් සිටි පුද්ගලයන්ට කදිම ආර්ථික ඉඩ ප්‍රස්ථාවක් විය. ආරියරත්න මහතා සඳහන් කර තිබෙන ආකාරයේ “ලණු ඒජන්තයන්” පිරිසක් දකුණු වෙරළබඩව ඇති වන්නේ මෙයින් පසුවය.

ඩැනියෙල් සේනාරත්නට ලණු ඒජන්තයකු වීමේ සුදුසුකම් සියල්ල තිබිණි. මෙකල ලණු එකතු කල ප්‍රධාන සමාගම් දෙකක් තිබුණු අතර ඒ දෙකේම ආසන්නතම නියෝජිත කාර්යාල පිහිටා තිබුනේ ගාල්ලේය. මේ සමාගම් දෙක නම් තවමත් සුවිශාල සමාගමක් ලෙස පවතින (මේ වන විට දේශීය හිමිකාරීත්වය යටතේ) හේලීස් සමාගම සහ ඊකොට්ස් ඇන්ඩ් වෝල්ස් නමැති සමාගමයි. ඔහු කලින් කලට මේ සමාගම් දෙක සමග ගනුදෙනු කිරීමෙන් යම් වත් පොහොසත්කමක් උපයා ගත්තේය. ඔහුගේ පියා වූ දොන් ආබ්‍රහම් කරනේලිස් සේනාරත්න විසූ මිරිස්සේ උඩුපිල නිවෙස එතෙක් ගම් වැසියන් විසින් හැඳින්වූයේ “ඉස්කෝල ගෙදර” යනුවෙන් වුවත් මෙතැන් පටන් එය ලණු කඩේ විය.

ලණු ඇඹරීමට කොහු ලබා ගන්නේ පොල් ලෙලි වතුරේ දමා පල් කිරීමෙනි. මේ පල් කිරීම දීර්ඝ කාලයක් යන කටයුත්තකි. පොල් ලෙලි පල් කිරීමට සුදුසු ඔය මාර්ග වලින් දකුණු වෙරළබඩ පළාත් හිඟ නැත. මේ කියන මිරිස්ස උඩුපිල ගමේ රට ඇතුලට වන්නට පිහිටා තිබෙන ගරාඬුව විලෙන් නික්මෙන ඔය පාර, අවට හාත්පස වට කිහිපයක් කැරකී මිරිස්සේ ගිරා ගල අවට තැනකින් මුහුදට වැටේ. මේ ඔය පාර පොල් ලෙලි පල් කිරීමටම මැවුණු ඔය පාරක් වැන්න. උඩුපිල හන්දියෙන් ඇතුලට යන ඕනෑම කෙනෙකුට ටික දුරක් යන විට පොල් ලෙලි පල් වීමෙන් නික්මෙන ”ඉතා සුවඳවත්” දුර්ගන්ධය ආගන්තුක නැත. දකුණු පළාතේ වෙරළබඩ බොහෝ ගම් වලට , දෙදහස් මුල් ගණන් වන තෙක් මේ ගන්ධය ආවේනික සුවඳක් විය.

ඔය මාර්ගයකට පොල් ලෙලි දමා, ඒවා එකතු කොට තබා, මාස කිහිපයකින් එලියට ගත් විට කොහු ගැලවීමට සුදුසු තත්වයට පත් වී තිබේ.ඒවායින් ගලවාගත් කොහු ඉන් පසුව ගමේ ගැහැණුන්ගේ අතින් ලණු බවට පත් වන අතර මේ ලණු බරේ හැටියට ගමේ ලණු ඒජන්තයා මිලට ගනියි. මිරිස්ස උඩුපිල ගමේ එකල ලණු ඒජන්තයා වූයේ ඩැනියෙල් සේනාරත්නය.

ඩැනියෙල් සේනාරත්නට උපන් වැඩිමහල් පුත්‍රයා වූයේ විලියම් සේනාරත්නය. ඩැනියෙල් සේනාරත්නගේ අරමුණ වූයේ තම පුත්‍රයා ඉංග්‍රීසි ගුරුවරයකු කිරීමය. විලියම් සේනාරත්න තම පියාගේ බලාපොරොත්තුව මගහැරියේ නැත. ඔහු පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයකු විය. නමුත් ඒ දශකයකට මදක් වැඩි කාලයකට පමණය. තමන්ගේ පියා නිරත වී සිටි ලණු ඒජන්ත කාරියට ඔහුගේත් හිත ගියේය. ඇතැම් කාල වලදී ඔහුගේ වෙළඳාම සරු විය. තවත් ඇතැම් කාල වලදී එය නිසරු විය. කෙසේ වෙතත් තම දරුවන් පස් දෙනාට හොඳින් ඉගැන්වීමටද ඔවුන් යහපත් පුරවැසියන් කිරීමටද ඔහුගේ වත්කම් ප්‍රමාණවත් විය. අසූ තුනේ ජූලි මාසයේ එක්තරා දිනෙක සුපුරුදු පරිදි තම දිනපොත ලියා තැබූ ඔහු එදින නිදියහෙනේදී මේ භවයෙන් නික්ම ගියේය. එල්.ටී.ටී.ඊ ප්‍රහාරයකින් මිය ගිය සොල්දාදුවන් දහතුන් දෙනාගේ දේහයන් ආදාහනය කිරීමට ගොස් බොරැල්ල කනත්තෙන් කළු ජූලිය පුපුරා යන්නේද හරියටම මේ දිනයේය.

මේ සමග අමුණා ඇති ඡායාරූපය , අපේ අම්මා සතු වටිනාම වස්තුවයි. දහනම වන සියවසේ අග භාගයේදී හෝ විසිවන සියවසේ මුල් භාගයේදී ගනු ලැබූ මෙහි සිටින්නේ හේලීස් සමාගමේ ඉහල නිලධාරීන් පිරිසක් සහ දකුණු පළාතේ එම සමාගමට ලණු සැපයූ ඒජන්තයන් පිරිසකි. වාඩි වී සිටින සුදු මහත්වරුන්ට පිටුපසින් පළමු පේලියේ සිටගෙන සිටින්නේ ස්වදේශීය ඒජන්තයන් පිරිසය. ඊට පසුපසින් සිටින්නේ වෙනත් කුමන හෝ කාර්යයක් කල මේ ව්‍යාපාරයට අදාළ වූ පිරිසකි. මේ ඒජන්ත පිරිස අතුරින්, ඉදිරිපස පේලියේ වම් පැත්තේ සිට හතරවැනියට සිටින්නේ ඩැනියෙල් සේනාරත්නය. එනම් අපේ අම්මාගේ තාත්තාගේ තාත්තාය. නැතහොත් මගේ සීයාගේ තාත්තාය. තවත් විදිහකට කියතොත් මිරිස්ස මහා විද්‍යාලය ආරම්භ කල දොන් ආබ්‍රහම් කරනේලිස් සේනාරත්නගේ පුත්‍රයාය.

මේ ඒජන්තයන් අතුරින් බහුතරයක් දෙනා දුරාව කුලයට අයත් බව අම්මාගේ හැඟීමයි. ලණු ව්‍යාපාරය දුරාවට සීමා වුනු එකක් වී නැතත් යම් සැලකිය යුතු දුරාව නියෝජනයක් ඒ තුල තිබුණු බව මගේද විශ්වාසයයි. මේ ලිපිය පටන් ගනිද්දී සඳහන් කල විස්තරය කියා තිබෙන ඒ.ටී ආරියරත්න හෙවත් අහංගම තොම්ම හේවගේ ටියුඩර් ආරියරත්න මහතාද අයත් වන්නේ දුරාව කුලයටය. ඔහු සඳහන් කරන උණවටුනද දුරාවුන් බහුල ප්‍රදේශයකි. එනයින්, ලණු ඇඹරූ ලුසි හාමි අක්කාද දුරාව වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මගේ කතාවේ එන ඩැනියෙල් සේනාරත්නද ඇතුළු සේනාරත්න පරම්පරාවද දුරාවය.

ඡායාරූපය හොඳින් පිරික්සන්න. මෙහි පසෙකින් ලෙල දෙන්නේ බ්‍රිතාන්‍යය කොඩියයි. මේ සියලු දෙනා උජාරුවට එහි සෙවනේ සිටගෙන සිටිති. මෙහි ඇතැමුන් සරම්ද ඇතැමුන් කලිසම්ද ඇඳ සිටිති. ඩැනියෙල් සේනාරත්න කලිසම් ඇඳි බව මා දන්නේ පවුලේ විස්තර අනුවය. මේ යුගයට බද්ධ වුනු අති විශේෂ ඇඳුම ඇඳ සිටින්නේ ඉදිරිපස පේලියේ වම් කෙලවරේම සිටින ඒජන්තයාය. ඔහු සරමක් ඇඳ සිටියත් ඊට යටින් පෙනෙන්න සපත්තු දෙකකි. එසේ වන්නේ ඔහු සරමට යටින් කලිසමක් ඇඳ සිටින නිසාය. මේ පහත රැටියන් කලිසමට හුරු වෙමින් පැවති යුගයයි. නමුත් කලිසම් ඇඳීම එක විට කල හැකි දෙයක් වූයේ නැත. ඒ සඳහා සුදුසු සමාජ ආර්ථික වටපිටාවක් නොතිබුනේ නම් එය මිනිසුන්ගේ හාස්‍යයට ලක් වන කරුණක් විය. එසේ හෙයින් මෙවැනි වටපිටාවක් ඇති කරගත් අයද එක රැයින් කලිසමට බැස්සේ නැත. ඔවුන් කලේ සරම තිබියදීම ඊට යටින් කලිසම ඇඳීමයි. මේ අපූරු ඇඳුම එකල හඳුන්වා ඇත්තේ “රෙද්ද අස්සේ මහත්මයා” යනුවෙනි. කලිසමක් ඇඳීමට තරම් වත්කමක් තිබුනද ඒ එක විටම ඇඳීමට ආත්ම ශක්තිය නොතිබුණු අය කලේ සරමට යටින් හෙමින් සීරුවේ කලිසම ඇඳීමය. යටත්විජිත සංකීර්ණතාවය පිලිබඳ කරුණු දහසක් එක විට පල කරන ප්‍රකාශණයකි මේ අපූරු ඇඳුම. බ්‍රිතාන්‍ය යුගයට අයත් රචනා කියවීමේදී මට පැහැදිලි වූයේ ඉන්දියාවේ , බුරුමයේ පමණක් නොව, ඍජුව යුරෝපීන්ට යටත් නොවුණු තායිලන්තයේද මේ කියන කාලයේම මෙවැනි ඇඳුම් තිබුණු බවය.

මේ ලිපියේ ඔබට ඇති සත පහක වැදගත් කමක් නැති බව මා දනිමි. එසේ තිබියදීත් ලිපිය මේ දක්වාම කියෙව්වේ නම් ඔබට මගේ ගෞරවාදරය හිමිය. මේවා මා ලියන්නේ ප්‍රධාන වශයෙන්ම මටම බලා සතුටු වීමටය. ඊට අමතර අපේ අම්මා සතුටු කිරීමටය. මගේ පුංචි අම්මාද, මාමලාද මේ දුටුවහොත් සතුටු වනු නොඅනුමානය. ඉතින් පවුල ඇතුලේ කරගත යුතුව තිබූ කාරියක් ඔබ හමුවේ දිග හැරීම සම්බන්ධයෙන් මට සමා වෙන්න. මගේ ඇත්ත සතුට තිබෙන්නේ මා සතුටු වන බව ඔබ දැකීමෙහිය . වනාන්තරයක් මැදට ගොස් තනිවම සතුටු වීමේ ලෝකෝත්තර සතුට මට හුරු නැත. මගේ සතුට ප්‍රදර්ශණ කාමයයි. මට ගැහැණියක සමග නම් රහසේ සතුටු විය හැකිය.

මේ අතීතය දෙසට හැරී බලන විට මගේ හදවත දුර්වල වෙයි. ඩැනියෙල් සේනාරත්න බ්‍රිතාන්‍ය කොඩිය යට සිට ගත්තේ සතුටකින් නොවේ. නමුත් සමාජ හිනි මගේ ඉහලට නගින්නට ඔහුට තිබුණු සීමිත ඉඩ කඩෙහි වෙනත් තේරීම් තිබුනේ නැත. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මොන තරම් ලන්දේසීන්ට සමීපව කටයුතු කලත් තමන්ගේ මීමුත්තන් ආගම මාරු කලේ නැති බව මේ පරම්පරාවල වැඩිහිටියන් කියන්නේ උජාරුවෙනි. මේ උජාරුව දොන් ආබ්‍රහම් කොරනේලිස් සේනාරත්නට, ඩැනියල් සේනාරත්නට මෙන්ම විලියම් සේනාරත්නටද නොඅඩුව තිබුණු බව මා දනිමි. උඩරට සියම් නිකායේ උපසම්පදාව තමන්ට නොලැබෙන විට බුරුමයේ අමරපුරයට ගොස් උපසම්පදාව ගෙනවිත් පිහිටුවා ගත් අමරපුර නිකාය ටික කලෙකින් කරාව සලාගම දුරාව කුල රේඛා ඔස්සේ බෙදෙද්දී නැවත වතාවක් බුරුමයට ගොස් උපසම්පදාව ගෙනවිත් අමරපුර ශ්‍රී ධම්මරක්ඛිත නිකාය පිහිටුවීමේදී ආබ්‍රහම් සේනාරත්නලා ඊට උපස්ථම්භක වුනු බව නොඅනුමානය. පුපුරා යන තරමේ ශාසන කාමයක් සහිතව සිටියත් විවෘත වන එකම ආර්ථික අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටද ඔවුහු පසුබට වුයේ නැත. මේ සංකීර්ණ ගනුදෙනුව සියවසක් හමාරක් මුළුල්ලේ සිදු වීමෙන් අනතුරුව ඉතුරු වී තිබෙන්නේ මානව විද්‍යාඥයකුට කරනම් ගැසිය හැකි විද්‍යාගාරයකි. නමුත් ඒ තුලට පිවිසෙන මගේ හදවත හැම විටම බර වෙයි. එවිට ලියවෙන්නේ මෙවැනි පල් හෑලිය.

– දිනෙත් මල්ලිකාරච්චි –

Social Sharing
නවතම විශේෂාංග