බැසිල් රයිට්ගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය

Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.

ලංකා ගීතය අපට කීප අයුරකින් වැදගත් වන්නක්. එවක මෙරට ජනජීවිතයේ රඟ සොබාව කෙබඳුදැයි යන්නට එය සජීවි සාධකයක්. ලොව මෙතෙක් බිහිවූ හොඳම වාර්තා චිත්‍රපට අතුරින් එකක් ලෙස ලංකා ගීතය ලොව චිත්‍රපට විචාරකයන් විසින් හඳුන්වා තිබෙනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ වාර්තා චිත්‍රපටකරණයේ පුරෝගාමියා වූ ජෝන් ග්‍රියර්සන්සි විසින්න්. අධ්‍යක්ෂණය බැසිල් රයිට්ගේ. ලංකා ගීතයේ තිර පිටපත රචනා වූයේ රොබට් නොක්ස්ගේ එදා හෙළදිව (An Historical Relation Of Island Ceylon) නමැති කෘතිය ඇසුරිනුයි. ලංකා ගීතයේ පසුබිම් කථනය 43 කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ලයනල් වෙන්ට්ඩ් විසින්. ඔහුගේ ගැඹුරු හඬ මෙම චිත්‍රපටයට ආලෝකයක් එකතු කරනවා.
ලංකා ගීතයේ සංගීතය නිර්මාණය කළේ වෝල්ටර් ලේ. ඒ සඳහා ඔහු කාලයක් ලංකාවේ ජීවත් වෙමින් අපේ දේශීය සංගීත නාදමාලා පිළිබඳව හැදෑරීමෙන් පසුවයි එහි සංගීතය නිර්මාණයට අතගැසුවේ. චිත්‍රපටයේ නාමාවලියේදී අපට ඇසෙන්නේ ගජගා වන්නමේ නාද මාලාවයි. එය වරින් වර විවිධ අවස්ථාවන්හි අපට අසන්නට ලැබෙනවා. එය ගායනා කරන්නේ දේවාර් සූර්සේන. ඔහු වීර මලේ රොන් ගෙන යන්නා වැනි එවක ජනප්‍රිය ගීත ගායනා කළ සුප්‍රසිද්ධ ගායකයෙක්.

ලංකා ගීතය සිනමා පටය නිර්මාණය සඳහා දායකත්වය සැපයූවේ ලන්ඩන් තේ මණ්ඩලයයි. එවක මෙරට නිෂ්පාදනය කළ ලංකා තේ සඳහා සිටි විශාලතම ගැනුම්කරුවා වූයේ එම ආයතනයයි. ලංකා තේ සඳහා වැඩි ප්‍රචාරයක් ලොව පුරා ලබා දීම ඔවුන්ගේ අරමුණ වුණා. ඒ නිසා ලංකාව පිළිබඳ කදිම වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඔවුන්ට අවශ්‍ය වුණා. ලොව වාර්තා චිත්‍රපටකරණයේ පියා ලෙස සැලකෙන ජෝන් ග්‍රියර්සන්ගේ පාලනය යටතේ බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් ක්‍රවුන් ෆිල්ම්ස් නමින් චිත්‍රපට ආයතනයක් එවක ලන්ඩනයේ පැවතුනා. එහි කාර්යභාරය වූයේ රටේ කිසියම් ව්‍යාපෘතියක් පිළිබදව හෝ වැදගත් සිදුවීම් අලළා වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමයි. ඒ නිසා ලන්ඩන් තේ මණ්ඩලය ලංකාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ වගකීම එම ආයතනයට පැවරුවා.

ජෝන් ග්‍රියර්සන් එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගත්තේ බැසිල් රයිට්ව. ඒ වන විට රයිට් Conquest, The Country Comes to Town, O’er Hill and Dale, Liner Cruising South, Cargo From Jamaica, Windmill in Barbados වැනි චිත්‍රපට නිර්මාණය කර තිබුණා.

කැමරා ශිල්පි ජෝන් ටේලර්, සංගීත අධ්‍යක්ෂ වෝල්ටර් ලේ සමඟ ඔහු ලංකාවට පැමිණෙන විට තමන් නිර්මාණය කරන චිත්‍රපටය පිළිබඳ කිසිදු තිර පිටපතක් ඔවුන් සතුව තිබුණේ නැහැ. මේ පිරිසට ලංකාව පිළිබඳ තොරතුරු ලබා දෙමින් ඔවුන්ට අවශය තොරතුරු සපයා දුන්නේ ලයනල් වෙන්ට්ඩ්.

ඔවුන් ප්‍රථමයෙන් තමන් නෙත ගැටුණු සියලු සුන්දර දර්ශන සිනමාවට නැගුවා. අලි ඇතුන්, පෙරහර, ධීවරයන්, බලි තොවිල්, ජන ජිවිතය ආදි සියල්ල ඔවුන් රූපයට නැගුවා. පසුව එංගලන්තයට ගොස් නොක්ස්ගේ කෘතියද පාදක කර ගනිමින් ඒවා සංස්කරණයට ලක් කළා.

ලංකා ගීතය අංශ 4ක් ඔස්සේ ඉදිරිපත් වෙනවා. එයි පළමු කොටස The Buddha. ඉන් බුදුදහම හා ලංකාවේ වැසියන් අතර පවතින බැඳීම, බලි තොවිල්, සිරිපා කරුණාව වැනි සිදුවීම් ඇසුරින් බුදුන් පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරනවා.
දෙවැනි කොටස The Virgin Island. ඉන් මෙරට ගැමි ජීවිතය, අලි ඇතුන්, සාරධර්ම හා සමාජ ජිවිතය, ධීවර කර්මාන්තය, කෘෂි කර්මාන්තය වැනි අංශ පිළිබඳව සාකච්ඡා කෙරෙනවා.

තුන්වැනි අංගය The Voices Of Commerce. ඒ තුළින් තේ, පොල්, රබර් හා ආනයන, අපනයන පිළිබඳව සාකච්ඡා කෙරෙනවා සිව්වැනි අංගය The Apparel of a God. ඉන් ස්වභාවික සෞන්දර්ය, නර්තනය, හා ගල්විහාරය වැනි අංශ පිළිබඳව සාකච්ඡා කෙරෙනවා.

සමස්ත චිත්‍රපටය තුළින් බැසිල් රයිට් උත්සාහ කර ඇත්තේ අපේ ජන ජීවිතයේ රිද්මය ග්‍රහණය කර ගැනීමටයි. රූපයත් ශබ්දයත් අතර අපූරු නිර්මානාත්මක සංකලනයක් ලංකා ගීතයේ දැකිය හැකියි. විටෙක රූපයට පරිබාහිර ලෙසින් හඬ පටය භාවිත කරමින් අත්හදා බැලීමක්ද ඔහු කර තිබෙනවා.

පසුකාලීනව මෙරටින් බිහිවූ බොහෝ වාර්තා හා වෘත්තාන්ත චිත්‍රපටවල ලංකා ගීතයේ සෙවනැල්ල දැකිය හැකි වූ බව ආචාර්ය තිස්ස අබේසේකර වරක් පැවසුවා. ලංකා ගීතය 1935 බ්‍රසල්ස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ සියලු අංශවලින් හොඳම චිත්‍රපටය ලෙස PIX DU GOUVERNEMENT සම්මානයත්, එම වසරේ බිහිවූ වාර්තා චිත්‍රපට අතුරින් හොඳම චිත්‍රපටය ලෙසිනුත් සම්මානයට පාත්‍ර වූ බව එහි නාමාවලියේම සඳහන් වනවා. ලංකා ගීතය විනාඩි 40ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයක්.

මෙම ලින්ක් එකෙන් ලංකා ගීතය නරඹන්න

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Social Sharing
නවතම විශේෂාංග