දින පනහක අරගලයේ සංවත්සරය පසු ගිය සතියේ සැමැරිණි. ‘අරගලය’ තව දුරටත් බරසාර දේශපාලන තාක්ෂණික පදයක් නොවේ. එය දැන් ලාංකීය සමාජයේ එදිනෙදා ජන වහරේ සාමාන්‍ය කොටසක බවට පත් ව ඇත. සිංහල ඒ හැටි ව්‍යක්ත නොමැති, ඉංග්‍රීසියෙන් කතා කරන සමාජ පැලැන්තිය ද ‘ගොයින් ටු අරගල’ වැනි වාක්‍ය තම ෆේස්බුක්වල ඉංග්‍රීසියෙන් පෝස්ටු සටහන් කරණු දක්නට ලැබේ. ‘ජයවේවා’ යන්න ද ඔවුන්ගේ සීමිත සිංහල වොකැබියුලිරිය තරමක් පුළුල් කළේ ය. එදිනෙදා ජීවිතයට අවශ්‍ය මූලික භාණ්ඩ හා සේවා කිහිපයක — ගෑස්, විදුලිය, ඉන්ධන, කිරි පිටි, බෙහෙත් — හිඟකම හා ඒවායේ දැරිය නොහැකි අධික මිල, අද අප ‘අරගලය’ කියා ලිහිල් ලෙස වර නගන සමාජ සංසිද්දියට හේතුවන ආසන්න කාරණා ය. විශේෂයෙන් මධ්‍යම පාන්තික නාගරීක ජනතාවට යට කී රස්නය දැනීම මෙහිලා වැදගත් ය. ඔවුන්ගේ ඉවසීමේ සීමාව යම් තීරණාත්මක අවධියකට පැමිණීම ‘අරගලය’ ට දැමුණු මූලික අත්තිවාරම යි. මධ්‍යම පාංතිකයින් පාලකයින්ට විරෝධාත්මක ව වීථි බැසීම කරන්නේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය විට ය. එනම් කරකියා ගත නොහැකි හෙවත් ඩෙස්පරේට් ම ය තත්ත්වයකට ඇද වැටුණු පසුව ය. ඔවුන් එතෙක් වීථි බැසීමේ ‘කොන්ත්‍රාත්තුව’ පවරන්නේ වෘත්තීය වීථි බැසුම් කරුවන්ට ය. මේ අතර ආන්තික දේශපාලන පක්ෂ හා කණ්ඩායම්, වෘත්තීය සමිති හා ඇන්ජීයෝ හෙවත් රාජ්‍ය නොවන සංවිධාන වේ.
වත්මන් අරුතින් හඟින ‘අරගලය’ පටන් ගත්තේ මිරිහානෙන් බව කියැවේ. එක්තරා අකාරයකට එය ඇත්ත ය. ජනපති විසූ නිවෙස නොසිතූ විරු ලෙස ජනකායක් පැමිණ වැට ලූ ආකාරය හැරවුම් ලක්ෂයක් ම වේ. මිරිහාන ජනතා හැසිරීම එක්තරා අසංවිධිත නමුත් ජවයක් හා ජීවයක් සහිත එකක් බව පෙනිණ. ඉන් විශාල බලපෑමක් ද කළේ ය. මෙතෙක් මැස්සෙක්වත් තම හිසට ඉහලින් පියාසර නොකිරීමට ඉද නොදුන් ජනපති, මේ සිද්ධිය වූ සැණින් ම වහා මිරිහාන නිවසෙන් ඉවත් වී නොදන්නා ස්ථානයකට අවතැන් විය. පසු ව එය යුධ හමුදා පරිශ්‍රයක බව සැළ විය. මිරිහාන වැටළුමේ බලපෑම ඉන් ඔප්පු වේ.
මිරිහාන සිද්ධියට යම් ජවයක් ගෙන දුන්නේ ඊට පූර්වගාමී ව කෙරුණු එතරම් ප්‍රසිද්ධ නොවුණු ජනතා ක්‍රියාකාරම් කිහිපයක නිසා ය. මේවායේ ද සිටියෝ වෘත්තීය වීථි බැසුම්කරුවෝ නොවේ. කොහුවල-නුගේගොඩ පාර අයිනේ සෑම සවසක ම ඉටි පහන් රැගෙන නිහඬ විරෝධතාවයක යෙදීම යම් ගම්‍යතාවයක් හෙවත් මොමෙන්ටමයක් සෙමෙන් ගොඩ නැගී ය. මීට සමාන්තර ව දේශපාලන කණ්ඩාමක් ලෙස තීරණාත්මක බලපෑමක් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ය. ඒ, බලාපොරොත්තු නොවූ අවස්තාවක, රහස් හා ආරක්ෂක අංශවලට සිතාගත නොහැකි ආකාරයකට මිරිහානේ ජනපති නිවෙසට ගැහැණු පිරිසක් සමග ප්‍රේමචන්ද්‍ර මහත්මිය කඩා වැදීම ය. රහස් තොරතුරු හා හමුදා අංශ ජනපතිට ආගන්තුක තැන් නොවේ. වෙනත් ලෙසකින් කියතොත්, ඒවා ජනපතිගේ ‘හෝම් ග්‍රවුන්ඩ්ස්’ ය. කොරෝනා කාලයේ විරෝධතා නැගුණු විට පොලීසියෙන් වහා පැමිණ විරෝධතාකරුවන් කුදලාගෙන බස්වලට පටවා රැගෙන ගියේ වැඩි ඈතක නොවේ. මේ අතර දැඩි ව වැඩුණු සිරුරින් යුතු ටී’ෂර්ට්ධාරී පිරිසක් ද පොලීසිය අතරේ සිටි බව මතක ය. කුමන හෝ හේතුවකට, මිරිහාන සිද්දියේත් ඉන් පසුවත් මේ ටී-ෂර්ට්ධාරී හැඩි දැඩි පිරිස පෙනෙන්නට සිටියේ නැත. කෙසේ හෝ, යකා සිතන තරම් කළු නොවේ යන ආත්ම විශ්වාසය පොදු ජනතාව අතර ගොඩනැගුණේ හිරුනිකා කළ ඒ සුවිශේෂී මැදිහත් වීමෙන් බව මට සිතේ.
අරගලයේ මුල් කාලය තුල එක්තරා සාධනීය අපිලිවෙලක් තිබිණ. සෑම රාමුවක් ම එහි සෑම අඟලක් ම කලින් තීන්දු කළ තිර පිටපතකට වඩා මුල් කාලීන අරගලයේ ස්වභාවය වෙනස් විය. එහි වැඩිමනත් සිටියෝ දේශපාලන පක්ෂ හෝ සංවිධානවල ගෝල බාලයෝ නොවේ. එහෙත් ඒ තිර පිටපතක් නොමැති නාටකය ආකර්ෂණශීලී සමාජ සංසිද්ධියක් බවට පෙරැළිණි. ඒ වටා තව තවත් පිරිස් එක් රොක් විය. ගෝල පීසියේ දිනපතා රැස්වීම, එහි වාඩිලෑම ලෙස ද ඉන් අනතුරු ව ගෝටා-ගෝ-ගම අයුරින් පරිනාමය විය. මෙහි තිබුණු අපිළිවෙල, තමනට නුපුරුදු සංවිධාන රටාව, නව මුහුණු, තමනට අපුල පාංතික කොටස් නිසා ජවිපෙ වැනි වරලත් හා වෘත්තීය වීථි බැසුම්කරුවෝ කළෝ ගෝල් පීස තත්ත්වය දේශපාලන සමච්චලයෙන් හා අවඥාවෙන් බැහැර කිරීම යි. ඔවුන්ගේ ප්‍රක්ෂේපණය හා ඇස්තමේන්තුව ව තිබුණේ මේ අපිළිවෙල හා තමන් මෙන් වෘත්තීය නොවන මේ ආධුනික විරෝධතාකරුවන්ගේ කල් ඉකුත් වීමේ දිනය නුදුරේ බව විය හැකි ය. එහෙත් මේ අපිළිවෙල, අනපේක්ෂිත ගතිකත්වයක් හා බලපෑමක් ලෙස ක්‍රමානුකූලව වර්ධනය වීමේ දී ජවිපෙට හැඟුනේ තම ජාජබ ග්‍රෝසරියට අද්ද ගත හැකි ජන්ද-භවතුන් නොවේ ද මේ ගෝල් පීසියට ඇදෙන්නේ කියා විය හැක. ඒ අනුව විය හැකිය ජාජබ අලෙවි නියෝජිත පිරිසක් ගෝල් පීසියට ගොඩ බැස්සුණේ.
ඒ අනුව, දේශපාලනය එක්තරා ‘ජීවන විලාසිතාවක්’ හෙවත් ලයිෆ් ස්ටයිල් මූව්මන්ට් එකක් ලෙස වහරණ නාගරීක මාධ්‍ය පාංතික කොටස් නියෝජනය කරණ බහුතර ජාජබ දනා ගෝල් පීසියේ කපන්න බැරි අත් සිඹින්නට ගති. තමන් අතිශය සංවිධිත පක්ෂයක් විසින් මෙහෙවන බැවින් ජාජබයින්ට ගෝල් පීසියේ යම් බලයක් ගොඩ නගා ගන්නට හැකි විය. රටේ සංචිත අඩියට බැස තිබුණ ද පක්ෂයේ අරමුදල් යහමින් ඇති නිසා මේ බලය තවත් ස්ථාපිත කර ගැන්මට හැකි විය. ජනප්‍රිය නළුවන් හා නිලියන් ද මේ අතර බැස්ස වීම දැක ගත හැකි විය. මීට සමගාමී ව පෙසපේ හා අන්තරය ද තම ක්‍රියාධරයින් ගෝල් පීසියට බැස්ස වී ය. ඒ වෙන විටත් කුඩා දේශපාලන ගොණුවක වන හතලිස් තුන සේනාංකයේ ක්‍රියාධර කොටස් ද ගෝල් පීසියේ සංවිධානය වන බව පෙනිණ. මේ වන විට ගෝටාගෝගම විරෝධයේ මූලික සංකේතාත්මක අඩවිය වී තිබූ අතර ඊට සමගාමී ව මයිනාගෝගම නමින් ද කුඩා විරෝධතා අඩවියක් ද අරලිය ගහ මන්දිරය ඉදිරියේ ඇති පදික වේදිකාවේ මතු විය. මේ වන විට අරගලයේ හැඩරුව හා සංයුතියේ ක්‍රමානුකූල වෙනසක පෙන්නුම් කළේ ය. මැයි නමය දින යට කී ගම් ද්වයේ වාඩිලා සිටි පිරිසට කළ අරලිය ගහ මැදුරින් ලිහා දැමුණු ප්‍රහාරය, ඊට ප්‍රතිචාරී ව පැතිර ගිය ප්‍රතිප්‍රහාර මාලාව — ගිණි තැබීම් ඇතුළු — හා ඉන් දින දෙක තුනකට පසු සිහිනෙකින්වත් නොසිතු රනිලාගමනය අරගලය කතුරු ඔන්චිල්ලාවක වටා යැවී ය.
ඉංග්‍රීසියෙන් හෙරින් කියන්නේ හුරුල්ලන්ට ය. රෙඩ් හෙරින් කියා ඉංග්‍රීසියෙන් කියන්නේ හුරුල්ලන්ට ම නොවේ. එය එක්තරා ඉඩියමැටික් හෙවත් ආප්තෝෂමය යෙදුමකි. ඒ අරුතින්, රෙඩ් හෙරින් යනු යම් දෙයකට දිය යුතු නිසි අවධානය වෙනතකට හරවන සුළු දෙයකි. මට හිතෙන්නේ වික්‍රමසිංහ පිලිබඳ සමාජය දක්වන කෝපාවිෂ්ඨ උනන්දුව සමාජය විසින් ම හදා ගත් රෙඩ් හෙරින තත්ත්වයක ලෙස ය. රට කර වටක් එරී ඇති දරුණු අර්බුදය නිර්මාණය කළ පවුලට දැන් යම් නිවාඩුවක් ලැබී ඇත්තේ සමාජය උඩ පනිමින් තඩි බාන්නේ වික්‍රමසිංහ මුවහමට වීම නිසා ය. අරගලයේ රිද්මය ලෙස වරෙක වීදි පුරා ඇසුණු කපුටු-කාක් හෝන් හඬ දැන් අසන්නට ලැබෙන්න ම නැත.