ආණ්ඩු විරෝධයට එරෙහි පොහොට්ටු මෙහෙයුම්!

ඉකුත් මැයි 09 වන දින රට තුළ ඇති වූ භීෂණකාරී වාතාවරණය පදනම් කරගනිමින් සිවිල් ක්‍රියාධරයින් සහ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමේ වාතාවරණයක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වේ. ඒ යටතේ ජන අරගලකරුවන් මර්ධනය කරමින් ආණ්ඩුවට එරෙහි විරෝධය යටපත් කිරීමට විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව ඉකුත් මැයි 09 වන දින අනුරාධපුර ප්‍රදේශයේ ඇති වූ සිද්ධියක් පදනම් කර ගනිමින් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජූනි 03 වන දින අනුරාධපුර පොලිස් ස්ථානය වෙත කැදවා තිබුණි. ඒ අනුව එම මහතා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා සමග පොලීසිය වෙත ප්‍රකාශ ලබා දීම සදහා ගිය අවස්ථාවේ දැන ගැනීමට ලැබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු වන සුරංගි රේණුකා සමරතුංග යන අය ඇයගේ නිවසට පහර දී අලාභහානි සිදු කිරිම, සොරකම , අනර්ථය සහ අයුතු ජනරාශිය යන චෝදනා එල්ල කරමින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට එරෙහිව පැමිණිලි සිදු කර ඇති බවයි.

ඊට අදාළව ප්‍රකාශ ලබා දෙමින් සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානයේදී දැනගැනීමට ලැබුනේ ඊට පෙර දින එනම් ජූනි 02 සිදු වූ පහරදීමක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් ප්‍රියන්ත ප්‍රනාන්දුට එරෙහිව පැමිණිල්ලක් දමා ඇති බවයි. පසුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රියන්තව අත් අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

එම අවස්ථාවේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ වරුන් විශාල පිරිසක් ප්‍රියන්ත ප්‍රනාන්දු වෙනුවෙන් ඉදිරිපත්වී කියා සිටියේ කිසිදු පදනමකින් තොරව ඉදිරිපත් කරන පැමිණිලි මගින් මෙවැනි සිවිල් ක්‍රියාධරයින් මර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. කෙසේවුවද නීතීඣ වරුන්ගේ කරුණු දැක්වීම් හමුවේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි.

Social Sharing
නවතම