සිගරට් බදු වැඩි නොවීම නිසා බිලියන 100 ක් රජයට පාඩු වෙලා

2020 – 2021 වසරවල සිගරට් බදු වැඩි නොකිරීම නිසා රජයට ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්  මෙවර අයවැයෙන්, රටට අහිමි වන මෙම බදු මුදල අයකර ගැනීමට රජය කටයුතු කල යුතුව ඇතැයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

රට තුල පවතින වර්ථමාන ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස විවිධ යෝජනා, මුදල් අමාත්‍යාංශය මගින් වරින්වර ඉදිරිපත් කළ අතර ඇතැම් යෝජනා සඳහා විශාල ජනතා විරෝධයක් එල්ල වු බවද  මෙවන් තත්වයක් හමුවේ වුවද බහුතර ජනතාවකට අඩුම බලපෑමක් වන පරිදි සිදුකළ හැකි සිගරට් බදු වැඩිකිරීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය මගින් 2019 වසරෙන් පසු කිසිදු අවස්ථාවක යෝජනා කිරීමක් හෝ  අවධානය යොමු කිරීමක් සිදුකර නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ හරහා රජයට ලැබිය යුතුව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න ආදායමක් රජයට අහිමිවී ඇතැයිද  එනම් ලංකා දුම්කොළ සමාගම (CTC) නමින් පෙනීසිටින, කොටස් අයිතියෙන් 84% බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) අයත් බහුජාතික සමාගම හරහා අය විය යුතුව තිබූ මෙම බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණය අහිමිවීම රජයේ අදායම අඩු වීම කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදුකර ඇති බවත් එකී නිවේදනයෙන් අවධාරනය කර ඇත.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පුබුදු සුමනසේකර මහතා විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

පසුගිය වසර දෙක තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු දිගින් දිගටම ඉහළ යද්දී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන සිගරට් බදු කිසි ලෙසකින් හෝ වැඩි නොකර පවත්වා ගැනීමට දුම්කොළ සමාගම, මුදල් අමාත්‍යාංශය හරහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කර ඇති බව මින් පෙනීයයි.

2015 සිට Gold Leaf සිගරට්වල (වැඩිම ප්‍රමාණයක් අලෙවි වන) මිල වැඩි වීම පහත දක්වා ඇත.

වසර     සිගරට්ටුවක මිල (රුපියල්)

2015      33

2016      35

2017      50

2018      55

2019      65

2020      65

2021      65

 

2019 සිට මේ දක්වා සිගරට් බදු වැඩිකිරීමක් සිදුකර නැත. එම කාලවකවානුව තුළ සිගරට් බදු වැඩි කිරීමේ ක්‍රමවේදය යටතේ අවම වශයෙන් රුපියල් 20කින් මිල වැඩි වූවානම්, රජයට රුපියල් බිලියන 100කට ආසන්න අමතර බදු ආදායමක් ලබාගත හැකිව තිබුණි.

රජය විසින් අහිමි කරගත් මෙම බදු මුදලේ වටිනාකම පහත සදහන් උදාහරණවලින් වටහාගත හැක.

 

  • දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 100කි.
  • මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වැය වූ මුදල රුපියල් බිලියන 91කි.
  • ගුවන්තොටුපොළ පිවිසුම් අධිවේගී මාර්ගය සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 39කි.
  • මත්තල ගුවන් තොටුපොල සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 21කි.

මුදල් අමාත්‍යාංශයේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටට අහිමිවූ සිගරට් බදු මුදල් ප්‍රමාණය නිවැරදිව අයකරගනු ලැබුවේ නම්‚ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු මෙතරම් වැඩි නොකිරීමට රජයට හැකියාව තිබුණි.

අවසන් වරට 2019 වර්ෂයේ සිදුකළ සිගරට් බදු වැඩි කිරීමෙන් රජයේ බදු ආදායම ඉහළ යාම බිලියන 94.3ක් බව 2020 මහ බැංකු වාර්තාවේ (පිටු අංක – 155) සදහන් කර ඇත. ඊට පෙර වසරවල මහ බැංකු වාර්තාවලින් ද මෙය ඉතා සාර්ථක ක්‍රමෝපායක් බව සනාථ කර තිබුණද, අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා ඇති බදු දිගින් දිගටම ඉහළ දමනු ලබන කාලවකවානුවක වසර දෙකක් පුරා, මුදල් අමාත්‍යාංශයට මෙම බදු වැඩි කිරීම සම්පූර්ණයෙන් අමතක වීම විමතියට කරුණකි.

එමෙන්ම මෙලෙස සිගරට් බදු වැඩි කිරීම පමාවීමට, නිසි ආකාරව සිගරට් මිළ වැඩි නොවීමට සහ ඒ හරහා දුම්කොළ සමාගමට විවිධ වාසි අත්වීමට ප්‍රධාන හේතුව‚ තවමත් ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තුව තුළින් අනුමත කරන ලද විධිමත් සිගරට් බදු අයකිරීමේ ක්‍රමවේදයක් නොමැති වීමයි. දැනට පවතින සිගරට්ටුවේ දිග අනුව බදු අය කිරීමේ සංකීර්ණ ක්‍රමවේදය ඉවත් කර විද්‍යානුකුල සරල බදු ප්‍රතිපත්තියක් ගෙන ඒම තුළින් සිගරට් සදහා උපරිම බදු පනවා රජයේ ලාභ උපරිම කර, සිගරට් කර්මාන්තයට අනිසි ලාභ ලබාගැනීමේ ඉඩකඩ ඇහිරිය හැක.

මේ ආකාරයේ කාර්යක්ෂම ක්‍රමවේදයක් ගෙන එන බව 2021 අයවැය කතාවේ බදු ප්‍රතිපත්තිය ශීර්ෂය යටතේ එවකට මුදල් අමාත්‍ය සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සඳහන් කළ නමුත් ඒ සඳහා අවශ්‍ය කටයුතු ද තවමත් මුදල් අමාත්‍යාංශය හරහා සම්පාදනය වී නොමැත. පසුගිය ඉතිහාසය පුරාවටම මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය වී ඇත්තේ රටට වාසිදායක ලෙස දුම්කොළ බදු අයකර ගැනිමට වඩා බහු ජාතික දුම්කොළ සමාගමට වාසිදායක ලෙස ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීමයි. මේ තත්ත්වය නිවැරදි කිරීම සියළුම මහජන නියෝජිතයින්ගේ ප්‍රමුඛ වගකීමයි.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුව, සිගරට් හා දුම්කොළ නිෂ්පාදන සඳහා වූ බදු සැලකිය යුතු ලෙස ඉහළ දැමීම සිගරට් භාවිතය පාලනය කිරීමේ හොඳම ක්‍රමයයි. (ලෝක සෞඛ්‍ය සංවිධානය, WHO/NMH/PND/14.2) සාමාන්‍යයෙන් සිගරට් බදු 10%කින් ඉහළ නැංවීම තුළින් රජයේ බදු අදායම වැඩිකර ගන්නා අතරම අප වැනි රටවල සිගරට් භාවිතය 5%කින් අඩු වන බව ගණන් බලා ඇත. මේ මොහොතේ සිගරට් භාවිතය අවම කිරීම COVID-19 පාලන ක්‍රියාවලියට ද බෙහෙවින් උපකාරී වන බව විද්‍යාත්මකව සනාථ වී තිබේ.

සිගරට් හා දුම්කොළ සඳහා බදු ඉහළ දමන සෑම අවස්ථාවකම, එහි ප්‍රතිඵලයක් ලෙස  නීති විරෝධී සිගරට් වෙළඳාම හිස ඔසවන බව සහ බීඩි භාවිතය ඉහළ යන බවට සිගරට් සමාගම් විසින් අසත්‍ය ප්‍රචාරණ, මාධ්‍ය හරහා සමාජගත කරන අතර‚ එම අසත්‍ය ප්‍රචාර සෑම වසරකම අයවැය යෝජනාව ඉදිරිපත් කරන කාලසීමාව වන විට වැඩිවන බව වසර ගණනාවක සිට පෙනීයන කරුණකි. නීතිවිරෝධී සිගරට් වෙළඳාම, සිගරට් සමාගම් විසින්ම සිදු කරන බව සහ ශ්‍රී ලංකාව තුළ බීඩි භාවිතය වැඩිවී නොමැති බව සමීක්ෂණ මගින් මීට පෙර අවස්ථා කිහිපයකදීම සාක්ෂි සහිතව සනාථ කර ඇත. එහෙයින් එම ප්‍රචාර සියල්ල සිගරට් සමාගමේ උපක්‍රමයන් පමණක්ම බව මතක් කරනු කැමැත්තෙමු.

ඉහත කරුණු සලකා බලා මෙම ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රටට සිදුවන එම පාඩුව වළක්වා ගනිමින්, රටින් පිටතට ඇදී යන අතිවිශාල මුදල රට තුළ රදවා ගනිමින්, ඒ හරහා රජයේ අදායම ඉහළ නංවාගැනීමටත්, ජනතාවට සහන සැලසීමටත්, මෙවර 2021 නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත 2022 අයවැය යෝජනාව සකස් කිරිමේදී පහත සදහන් පියවරයන් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වන අප, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, රජයේ මැති ඇමතිවරුන් සහ පක්‍ෂ විපක්‍ෂ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් දන්වා ඇත.

Social Sharing
නවතම