වැලිඔය හරහා ගලන කඳුළුඔය

Welioya Microfinance Loan issues

අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ දිඟුවක් විඳිහට. අද ලෝකය පුරාම ප්‍රචලිත ජනප්‍රිය මතය තමයි මේ ක්‍රමයෙන් දුප්පතුන් තුරන්කරනවා කියන දේ. මේ ආර්ථික විද්‍යාඥයාට නොබෙල් සාම තෑග්ගත් ලැබෙන්නේ මේ මතය නිසා. ලෝකයේ ස්ථිර සාමයකට දුප්පත්කම දුරැලීම අත්‍යාවශ්‍යයි. ඒ පදනමින් තමයි ග්‍රාමින් බෑන්ක් සංකල්පය ලෝකය දිනන්නේ. ඒත් ඇත්තටම මේ සංකල්පය අද වෙනකොට ලෝකයේ දුප්පතුන් අඩුකරලා තිබෙනවාද? උත්තරය නැහැ කියන එක. මේ ක්‍රමය බහුජාතික සමාගම් සහ ඒ ඒ රටවල ණය දෙන දේශීය සමාගම් සිය ලාභ ජනනය සඳහා යෝදාගැනීම අස්සේ අද දුප්පතුන්ගේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙලා. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශය ගත්තොත් මේ ක්‍රමය නිසා ජන ජීවිතය හොඳටම අවුල් කරගත්ත කලාපයක්. බංගලිදේශයේ ග්‍රාමීන් බෑන්ක් හඳුන්වා දුන් ගමේ පවා අද මේ ක්‍රමය අසාර්ථකයි. ඒ ලාභය ප්‍රමුඛ කරගත්ත ණය දෙන ආයතනවල මැදිත්වීමට පිංසිදුවෙන්න.

ඉතිං වැලිඔය ජනතාවටත් අද ක්ෂුද්‍ර මූල්‍ය ණය කියලා කියන්නේ ව්‍යසනයක්. වැලිඔය කියන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ පැල කරපු සිංහල කොළනිය. විශාල ජල අර්බූදයක ගිලිලා ඉන්න මේ කලාපයේ මිනිස්සුන්ගෙ බඩ පොත්තට ඇලිලා. දුප්පත්කම, මන්දපෝෂණය, හැමතැනම. යුද්ධය දරුණුවට පැවති, එනිසාම නැවත නැවත අවතැන් වුණ මේ කලාපයේ මිනිස් පොකුර දැන් නොදැනීම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ කරවටක් ගිලිලා. ගොවිතැනට ණය ගත්ත මිනිස්සු, වැස්ස කලට නොලැබීමේ සාපය නිසා ණය ගෙවාගන්න නොහැකිව සියදිවි හානිකරගන්න මට්ටමට ඇවිත්. ගොවිතැනට ආයෝජනය කරපු ණය මුදල් ගඟේ මූදේ දැම්මා වාගේ වෙලා. දැන් සති දින වාරික ගෙවාදමමින් ගෙවන්නට නොහැකි කල පසුව ඇරියස් වාරික වැල් පොලිය සමගින් ගෙවමින් මේ මිනිස්සු කඳුළු බොනවා. ණය ගන්නකොට ගෙවන්න වෙන පොලිය පිළිබඳව හෝ ණය නොගෙව්වොත් විඳින්නට වෙන හිරිහැර පිළිබඳව හෝ මූලික දැනුමක් සමාගම් සපයන්නේ නෑ. පාරේ යන මිනිස්සුන්ටත් සමිතියට කතාකර ණය දෙන ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අවසන ණය උගුලේ හසුවෙනකම් මේ මිනිස්සු මේ ණය ක්‍රමයේ බැරෑරුම් කම දැනගන්නේ නෑ.

රසිකාගේ කතාව

වැලිඔය කල්‍යාණ පුර පදිංචි රසිකා රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ගන්නේ කරවල ව්‍යාපාරය වෙනුවෙන්. ඒ මුදලෙන් ඇය බයික් එකක් අරගෙන මන්නාරමෙන් කරවල ගෙන්වාගෙන සිය සැමියා එක්ක ගෙයින් ගෙට ගිහිං කරවල විකුණලා ජීවිතය ගැටගහා ගන්නවා. නොසිතූ මොහොතක හදිස්සි අනතුරක් නිසා කෙටි කාලයකට සිය සැමියාට මේ ව්‍යාපාරයට උදව් කරන්නට නොහැකි වෙනවා. අවසන අවාසනාවට වාගේ රසිකාගේ පවුලම මේ ණය උගුලේ සිරවෙනවා. බයික් එක ෆයිනෑස් කොම්පැනිය සිය භාරයට ගන්නවා. කරවල ව්‍යාපාරය නතර වෙනවා. ඇය කෙසේ හෝ ණය මුදල ටිකෙන් ටිකේ ගෙවමින් පැමිණෙනවා. ඒත් වැල්පොලිය සහ අධික පොලිය නිසා අද වෙනකොට ඇය ණය කන්දට යටවෙලා. තවදුරටත් ණය ගෙවාගෙන යෑමේ හැකියාවක් ඇය සතුව නෑ. ඇය පවසන විදිහට දැන් ඇයට ඉතුරුවෙලා තියෙන්නේ ජීවිතයට සමුදීම විතරයි. හැමදාම ගෙදරට ඇවිත් ණය වාරිකය ඉල්ලා සිටින මහත්වරු ඇයට දැන් හිස‍රදයක්.

ශ්‍යාමලීගේ කතාව

මේ වාර්තා චිත්‍රපටය සඳහා වැලිඔය ගම් පොකුරේ ඇවිදින අපිට ඇහැටුවැව ගමේදී හම්බවුණ ශ්‍යාමලීත් කීවේ මේ වගේ කතාවක්. ඇය ඇඳුම් මසා ජීවිතය ගැටගසා, පවුලේ බර අඳින කාන්තාවක්. සැමියා වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. මානසික ආබාධයක් සහිත දරුවෙක් සමග තමයි ඇය මේ ජීවිත සටනට උරදෙන්නේ. ඇයත් මේ ණය උගුලේ හිරවෙන්නේ තමන්ගේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරය ලොකුමහත් කරගන්න ගිහිං. ඒත් අධික පොලිය සහ ඇරියස් මුදල් සහ එයට අයකරනු ලබන පොලිය ඇයගේ ජීවිතය ණය උගුලක හිරකරලා ඉවරයි. ඇය දැන් දියවැඩියා රෝගයෙන් පෙළෙමින් මේ ණය උගුලෙන් ගැලවෙන්න වගේම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න, ඇය ලොකු සටනක් දෙනවා.

එල් ඕ එල් සී, බිම්පුත්, කර්මෂල් ක්‍රෙඩිට්, ප්‍රගති වගේ ණය දෙන ආයතන විශාල සංඛ්‍යාවක් වැලිඔය ව්‍යාප්ත වෙලා අවසන්. මේ සමාගම් මේ දුප්පතුන්ගේ සොච්චම් ආර්ථිකය තවදුරටත් විනාශ කරමින් ඉන්නවා. කන්න බොන්න අඳින්න පවා අද මේ මිනිස්සුන්ට ණය ගන්න වෙලා. මේ සමාගම් දන්නවා මේ මිනිස්සුන් ණය ගන්නේ, කියන විදිහට ව්‍යාපාර කරන්න නෙවෙයි, කන්න බොන්න කියලා. ඒත් ඔවුන් ණය දෙනවා. කොන්දේසි නැතුවම. මේ මිනිස්සු හිතන්නේ ණය ගත්තානම් ගෙවන්න ඕනෑ කියලා. මේ සමාගම් ඒ මතය තමන්ගේ වාසිය සඳහා භාවිතා කරමින් ඉන්නවා. අවසානයේ මේ මිනිස්සුන්ට උරුම වෙන්නේ මරණය විතරයි. ණය සමාගම් නම් කාලයක් යනකොට තමන් දුන්න මුදලා ආපසු ලබාගන්නවා.

වැලිඔය ඇවිද්ද අපිට හිතුනේ අද මුලු ලංකාවම වැලිඔයක් නේද කියලා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය වැලිඔයට දෙවෙනි නැහැ. ඒ වගේම ලංකාව ගත්තෝතින් රටක් විදිහටත් අද අපි විශාල ණය කන්දකට යටවෙලා ඉවරයි.

Social Sharing

Related posts