දත්ත විකෘති මගඩි වලට මුහුණ දෙන්න නම් තොරතුරු පනත වඩාත් ශක්තිමත් කළ යුතුයි – කරුණාරත්න පරණවිතාන

මේ වන විට රට තුළ දත්ත මගඩියක් ගැන කථා බහක් ඇත් වී තිබෙන බවත් තාක්ෂණික වශයෙන් තොරතුරු වලට හානි පමුණුවන්න, පොදු අධිකාරී සතු තොරතුරු තාක්ෂණිකව විනාශ කිරීමටත් සඟවා තැබීමටත් විකෘති කිරීමටත් යම් යම් පිරිස් උත්සාහ ගනිමින් සිටින හෙයින් මෙම අභියෝගයට මුහුණ දීම සදහා තොරතුරු පනත  වඩාත් බලාත්මක විය යුතු බව හිටපු  ජනමාධ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය, පාර් ලිමේන්තු මන්ත්‍රී  කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

‘අයිතීන් උදෙසා මාධ්‍ය වේදියෝ’ සංවිධනය විසින් ඉකුත් 28 වැනි දින සංවිධානය කොට තිබූ සූම් තාක්ෂණ සංවාද  හමුට එක්වෙමින් ඒ් මහතා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඔහු මෙසේද කිවේය..

ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය ඉතා ප්‍රබල නීතියක්.  නෛතික වශයෙන් ගත්තම මෙය ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මෙම පනත හරහා ආවරණය වන කරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතට ඒවා. මොනවා නැති වුණත් මේ රටේ ජනතාවට පොදු අධිකාරියකින්  ලබාගත යුතු යම් තොරතුරක් ලබා ගැනීමට නොහැකි වුවහොත් අධිකරණය දක්වා යාමට මේ පනත මගින් ප්‍රතිපාදන සලසා තිබෙනවා . මේ පනතේ යම් යම් දුර්වලකම් තිබෙනවා. එම තත්ත්වය ඉන්දියාව තුළත් අත් දකින්නට පුළුවන් . සමහර පනත් ක්‍රියාත්මක වීමේ දී තමයි එහි අඩු පාඩුකම් පෙනෙන්නේ . මෙම පනත වඩාත් බලාත්මක කිරීම් සඳහා ඉදිරිගාමී සංවර්ධන කටයුතු සඳහා එම් යෝජනා පාර් ලිමේන්තුවට  ගෙනවිත් මෙම පනත වඩාත් බලාත්මක කිරීමේ හැකියාව තිබෙනවා .

මේ පනත  හරහා  අප බලා බලාපොරොත්තු වන්නේ ආණ්ඩුකරණය විවෘත ආණ්ඩු ක්‍රමයක් බවට පත්   කිරීමයි. ආණ්ඩුවකට හංගන්න දෙයක් නෑ.  තොරතුරු කියන්නේ මහජන  දේපලක්. මහජනයාගේ මුදල් වියදම් කොට ගොඩනැගිලි හදා  ඩෙස් බංකු හදා නිළධාරීන් පත් කරලා ඒ අයට වැටුප් ගෙවා යම් යම් ව්‍යාපෘති ගෙනල්ලා  මොනවා හරි ක්‍රියාවලියක් පටන් ගන්නව නේ. ඒ ක්‍රියාවලිය හරහා ජනිත වෙනවා තොරතුරු. මෙම ක්‍රියාවලිය ඇතුළත ජනිත වන මහජන දේපල වගේම ජනිත වන තොරතුරු  මහජන දේපලයි. අපේ  සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුළේ තිබෙන්නේ එම දේපළ මහජන දේපල නොවෙයි යන වගේ  අදහසක් .

2015 වසරේ මෙම පනත කෙටුම්පත් කරන විට මම ලේකම් වරයෙක් වශයෙන් වැඩ කළා. එම   කාලයේදී රාජ්‍ය පරිපාන අමාත්‍යාංශයේ ලේකම්වරු පිරිසක් මට ප්‍රකාශ කළා ලේකම්තුමා මෙම පනත හදමු. හදල අපි මෙම පනත ක්‍රියාත්මක වෙන්න අවුරුදු 5 ට පමණ කල් දාමු කියා.  මම එම ලේකම්වරුන්ගෙන් ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා. ඔවුන්ගේ පිළිතුර වුණේ නෑ ඉතින් ඕවා තියාගෙන ආණ්ඩු කරන්න බෑනේ කියා. එහෙම තමයි එම ලේකම් ලේකම්වරුන්ගේ ආකල්පය වුණේ..

මෙම සාම්ප්‍රදායික ආකල්ප තියෙන  දේශපාලනඥයින් වගේම පරිපාලකයෝ ඉන්නවා. එයට හේතුව තමයි මේ අයගේ තිබෙන පසුගාමී ආකල්ප. දෙවෙනි එක තමයි මේ අයට හෘදසාක්ෂියක් තිබෙනවා. මොනව හරි දේකින් අපි අහු වුණොත් අපි ඉවරයි කියන අදහස ඔවුන්ගේ හිත් තුළ තිබෙනවා. ඊට බේතක් වශයෙන් තමයි මෙම තොරතුරු පනත ක්‍රියාත්මක වෙනවාට සමහරුන් අකමැති. තොරතුරු වසන් කිරීමට සඳහා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන්නෙ, ලිපි ලේඛන විනාශ කරන්න යම් කෙනෙක් උත්සාහ ගන්නේ මෙම තොරතුරු ලබා දීමෙන් අපේ මොනව හරි එළියට යයි කියන බිය නිසා. ඔවුන් විසින් සිදුකරන ලද ලද වංචනික ක්‍රියාවකින්  උත්පාදනය කර ගන්නා ලද ධනය බලය හා තම වරප්‍රසාද අයුතු ලෙස යොදා ගැනීමක් එළියට යෑමට තොරතුරු ලබා දීමෙන් සිදු වන බවට ඔවුන් තුළ තිබෙන බය නිසා තොරතුරු එළියට යන එක වළක්වා ගැනීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම යොදනවා.

තොරතුරු දැන ගැනීමේ පනතට තව ඌණ පූර්ණයක් ගෙන ආ යුතුයි. එම  ඌණ පූර්ණය නම් මෙම පනතෙන් කරන්නේ මහජන අධිකාරීන්  වගකීමකට යටත් කිරීමයි. තොරතුරු පනත හැර රටේ තිබෙන අනෙකුත් පනත් වලින් සිදු කරන්නේ  පාලකයන් විසින් මහජනයා ඇද බැඳ තබා ගැනීම්යි. සීනිවලට බද්දක් ගැහුවත් එම බද්දට මහජනයා යටත් වෙනවා. යම් කිසි වැරද්දැද්දක් සම්බන්ධයෙන් දඬුවමක් නියම කළාම මහජනයා එයට යටත් වෙනවා . තොරතුරු පනතේ තිබෙන වෙනස්කම නම් මේ නීතිය අනිත් පැත්තටයි ක්‍රියාත්මක වෙන්නේ .  ඉන් කරන්නේ මහජනයා එහෙමත් නැත්නම් පුරවැසියා විසින් පාලකයෝ වගකීම් කට බැඳ තබා තිබීමයි.  .

ඒ වගේම  මහජනතාවට වගකියන නිළධාරීන්ගේ වත්කම් හා දේපළ පිළිබඳව  තොරතුරු ලබා ගැනීම සඳහා යම්කිසි  නීති රාමුවක් තිබිය යුතුයි. ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ වත්කම් බැරකම් ඉල්ලනකොට පාර් ලිමේන්තු  මහලේකම් හෝ අදාළ අංශ එම  තොරතුරු දෙන්න බැහැ කියා කියනවා. එම තත්ත්වය නැති කළ යුතුයි. එම තොරතුරු ලබා දෙන තත්ත්වයට මෙම පනත බලාත්මක වුණොත් ඔවුන් තවදුරටත් වගකීම් සහගත වෙනවා.

මේ වෙන කොට මේ රටේ දැවැන්ත දත්ත මගඩියක් ගැන කතා කරනවා. මම දන්නෑ  ගවේෂණශීලී මාධ්‍යවේදියෙකු මේ තොරතුරු අපට දෙන්න ක්‍රියා ඉල්ලුවාද කියා. කොවිඩ් පිළිබඳව ලේඛන ඉදිරිපත් කරනවා සංඛ්‍යාලේඛන නිවැරදි ද කියා මාධ්‍යවේදීන් විමසූ අවස්ථා තිබේද කියා මම දන්නෑ. එහෙම ප්‍රවණතාවයක් අපේ රටේ තිබෙනවාද ?මෙම  තත්ත්වයට අපේ මාධ්‍ය තවම ඇවිත් නැති බවයි මගේ පෞද්ගලික අදහස. තොරතුරු පනත මේ රටේ ක්‍රියාත්මක වෙන මොහොතක මහජන අධිකාරින් වගකීමෙන් බැඳී සිටින මොහොතකයි දත්ත මගඩි ගැන මේ රටේ කතා බහක් ඇති වී තිබෙන්නේ .

එෆික් ආයතනය කියන්නේ මේ රටේ සෞඛ්‍ය අංශයේ දත්ත පමණක් ගබඩා කරන තැනක් නෙමෙයි. විශාල ආයතන සංඛ්‍යාවකට පරිගණක පහසුකම් ලබා දී තිබෙන ආයතනයක්. ඉතින් එහෙම ආයතනයක් තමන්ගේ තත්ත්වය නැති කරගෙන තමන්ගේ  ව්‍යාපාර කටයුතු ඇනහිටින තත්ත්වයට කටයුතු කරයි කියා අපිට හිතන්න පුලුවන්ද ? ඒ ගොල්ලොම තමයි පැමිණිලි කොට තිබෙන්නේ මෙතන ප්‍රශ්නයක් තිබෙනවා කියා. මෙම දත්ත පවත්වා ගෙන යාමේ වගකීම එක්  රාජ්‍ය ආයතනයකට තිබෙනවා. ඇයි මේ රාජ්‍ය ආයතනය  මේ දත්ත වෙනත් ආරක්ෂාකාරී ක්‍රමයකටත් ගබඩා කර නොගත්තේ කියලා ප්‍රශ්නය මතු කරන්නේ නැත්තෙ? ඊළඟ වැදගත් කරුණ තමයි මේ නැති වූ තොරතුරු වැදගත් නෑ කියලා කියන්න ආණ්ඩුවේ සමහර අය එළඹෙන එක. එය හොරාට කලින් වැට පැනීම්ක් වගේ දෙයක්.මේ සම්බන්ධයෙන් උනන්දු වෙන  ජනමාධ්‍යවේදීන් මෙම සියලුම ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

පිරිසකට වුවමනාවක් තියෙන්නෙ පුළුවන් තමන් ගැන තිබෙන තොරතුරු මකා දමන්න. තවත් පිරිසකට වුවමනාවක් තිබෙන්න පුළුවන් තමන් සමඟ තරඟකාරී ආයතන පිළිබදව තොරතුර මකා දමා එම ආයතන බංකලොත් කරන්න. එහෙම නැත්නම් වැදගත් සමාගමක තිබෙන  කීර් ති  නාමයට හානි කරන්න සමහරෙකුට වුවමනාවක් තියෙන්න පුළුවන්. එම  සමාගම මෙම ව්‍යාපාර ලෝකයෙන් අතුගාලා දමන්න යම් කෙනෙකුට වුවමනාවක් තිබෙන්නෙ පුළුවන්.

මෙවැනි සහාසික වශයෙන් සිදුවන ක්‍රියාවන් මැඩලීම් සඳහා මෙම  තොරතුරු පනත උපයෝගි කරගත යුතුය ඒ සඳහා මාධ්‍යවේදීන් පෙරට ආ යුතුය. විවෘත ආණ්ඩු ක්‍රමයකට අකමැති අයට කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි තාක්ෂණික මගඩි. තාක්ෂණික වශයෙන් තොරතුරු විකෘති කරන්න එමෙන්ම ඒවා සම්පූර්ණයෙන් මකා දමන්න පුළුවන් .ඒ අනුව එහි වැරැද්ද තාක්ෂණයට පවරලා සමහර නිලධාරීන්ට අත පිහ දාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මහජන දේපලක් විනාශ කරන අයට අධිකරණයේදී ඇප ලබා දෙන්නත් බැහැ. තොරතුරුත් එහෙම විය යුතුයි .තොරතුරු ලබා නොදීමත් එවැනි වරදක් බවට පත්කළ යුතුයි. පුරවැසියෙකුට සෑම  තොරතුරක්ම ලබා ගැනීමට හැකි විය යුතුයි .තොරතුරු අයිතිය පිළිබඳව පනත කෙටුම්පත් කරද්දී  විශාල සංවාදයක් ආවා එහි සීමාවන් පිළිබඳව. ජාතික ආරක්ෂාවට  සම්බන්ධ තොරතුරු ලබා දීමෙන් විශාල මහජන සුභ සිද්ධියක් සිදු වෙනවා නම් එම තොරතුරු ලබා දිය යුතුයි කියා තොරතුරු පනත සහතික කර තිබෙනවා..

තාක්ෂණික වශයෙන් තොරතුරු විකෘති කිරීම්  සැඟවීම තොරතුරු වලට සීමා පැනවීම වැනි කරුණු  මගින් තොරතුරු පනතට වන හානි වලක්වා ගැනීම සදහා ඉදිරියේදී කටයුතු කළ යුතු යැයි මම විශවාස කරනවා.

 

චන්ද්‍රසේන ගමගේ

Social Sharing
නවතම