බලාපොරොත්තු නොමැති බිමකට රන් පදක්කමක් –  දුලාන් දසනායක

දිනේෂ් ප්‍රියන්ත අවසානයේ ලෝක මට්ටමේ තරගයකින් ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. ඔහු එම දක්ෂකම සිදු කලේ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ එෆ් 46 තරග ඉසව්වට සහභාගී වෙමින්.  ඔලිම්පික් තරගාවලියට පසව පැවැත්වෙන අබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වූ පැරාලිම්පික් තරගාවලියෙන් හෝ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට හැකි වීම පවතින ආර්ථික සමාජ දේශපාලන තත්වය තුළ ලාංකිකයන්ට අස්වැසිල්ලක්. එය කොතරම් අස්වැසිල්ලක්ද යන්න මේ මොහොතේ සමාජ මාධ්‍ය ජාලාවන්හි එකී ජයග්‍රහණය පිළිබද පොදු ජනයා පළ කරන අදහස් වලින් පෙනෙයි.

ශ්‍රී ලංකා වැසියන් මේ වන විට සිටින්නේ බරපතල ඉච්ඡා භංගත්වයකින්. විශේෂයෙන් අසීමිත බලාපොරොත්තු ගොන්නක් පොදි බැද ගෙන බලවත් ජනාධිපතිවරයකු හෝ බලවත් ආණ්ඩුවක් පත් කර ගත් බහුතර ලාංකිකයන්ගේ ඒ සියළු බලාපොරොත්තු එකින් එක සුනු විසුනු වී යද්දී ඔවුන් බරපතළ මට්ටමේ ඉච්ඡා භංගත්වයකට පත් වීම නොවැළැක්විය හැක්කක්.

කවර ආණ්ඩුවක් පැවැතියද ක්‍රීඩාවද ලංකාවේ ජනයාගේ බලාපොරොත්තු ඉහළ නැංවූ ක්ෂේත්‍රයක්. සෑම අතින්ම ජරාජය වන ශ්‍රී ලාංකිකයාට ජයග්‍රහණය ලැබුනේ ක්‍රීඩාවෙන්. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන්. දැනට කාලාන්තරයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට අත් වී ඇති ඉරණම ඛේදජනකයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිදාක නොවූ ලෙස අවස්ථා කිහිපයකදී කලහකාරී ලෙස හැසිරීම මගින් පෙන්වූයේද ඔවුන්ගේ බලාපොරොත්තු ඛණ්ඩනයයි. ඔලිම්පික් එක් පදක්කමක් 2000 වසරේදී ලංකාව ලබා ගෙන තිබුණත් ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව මළල ක්‍රීඩාවෙන් සිටියේ ඉතා ඉහළ මට්ටමක. එය බලාපොරොත්තු ඉහළ නංවා තිබුණා. ක්‍රිකට් ජයග්‍රහණ කොතරම් ජනයා උද්දාමයට ලක් කරනවාද කියතොත් ලංකාවේ ආණ්ඩු බඩු මිල වැඩි කිරීමටද මෙම ජයග්‍රහණ උපයෝගී කර ගත් බව නොරහසක්.

ක්‍රීඩාව පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබද ලංකාවේ ජනයාට තිබූ බලාපොරොත්තු කිසිදා නොවූ විරූ ලෙස බිද වැටෙමින් තිබේ. මේ වන විට කොවිඩ් රෝගී තත්වය පිළිබදවද එය පාලනය කිරීම පිළිබදවද ජනතාව සතුව තිබූ බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිද වැටෙමින් තිබේ. මුල් කොවිඩ් රැල්ල පාලනයේදී ආණ්ඩුව ජනතාව තුළ බලාපොරොත්තු දැල්වීමට සමත් වුවත්, ආණ්ඩුවේම ඇතැම් තීරණත් අධිතක්සේරුවත් හේතුකොට ගෙන මෙම කොවිඩ් වෛරස ව්‍යාප්තිය වර්ධනය වීමත් රෝගීන් හා මරණ සංඛ්‍යාව වර්ධනය වීමත් හේතු කොට ගෙන මෙම තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනතාව තුළ වූ විශ්වාසය එන්න එන්නම බිද වැටෙමින් තිබේ. සියළුම ප්‍රදේශ වල පාහේ කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග ජනතාවගේ රෝග බිය දිගින් දිගටම වර්ධනය වෙයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධව අගෝස්තු 29 වන දින දක්වා තත්වය සම්බන්ධව (දැනට ඇති අවසාන වාර්තාව) වසංගත රෝග විද්‍යාංශය විසින් නිකුත් කල සවිස්තරාත්මක වාර්තාව බලන්න. https://www.epid.gov.lk/web/images/pdf/corona_virus_report/sitrep-sl-sin-29-08_10_21.pdf

කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයට සමගාමීව ආර්ථික අර්බුදය උත්සන්න වීමද ජනතාවගේ බලාපොරොත්තු කඩ වීමට හේතු වෙයි. විශේෂයෙන් ආර්ථික දියුණුව සම්බන්ධයෙන් පමණක් නොව ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් විශ්වසනීය වැඩපිළීවෙලක් නොමැති බව පොදු ජනයාට හැගීයාම ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වීමට හේතු වී ඇති බව බැලූ බැල්මට පෙනී යයි. අසීමිත බලාපොරොත්තු ලබා දුන් ජනාධිපතිවරයාට ඔහු කෙරේ හා ඔහුගේ ආණ්ඩුව කෙරෙහි ඇති ජනතාවගේ විශ්වාසය ඇති කිරීමට නොහැකි වී තිබේ. ආණ්ඩුව මැතිවරණයකදී බහුතර මහජනයාගෙන් ප්‍රතික්ෂේප වනු ඇතැයි ඉන් අදහස් නොවන නමුත් ආණ්ඩුවක් විසින් අනිවාර්යයෙන් සිදු කල යුතු ජනයාගේ බලාපොරොත්තු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් වී ඇති බව කිව හැක. නිශ්චිත හා සුරක්ෂිත මාසික වේතනයකට හිමිකම් කියන ආණ්ඩුවේ සේවකයන් හා ඇතැම් පෞද්ගලික අංශයේ සේවකයන් තුළ පවා ඔවුන්ගේ ආදායම් මාර්ගය පිළිබද අවිශ්වාසයක් ගොඩ නැගී ඇති බව දැකිය හැක. ඔවුන්ගේ තත්වය එසේ නම් අවිධිමත් රැකියාවන් හා විවිධ සුළු ව්‍යාපාර කටයුතුවල නිරත වන ජනයාගේ තත්වය කුමක් විය හැකිද? ඔවුන්ගේ බලාපොරොත්තු බරපතළ ලෙස ඛණ්ඩනය වී ඇත.

2020 ජනවාරිය වන විට 4.5% ක මට්ටමේ තිබූ ශ්‍රී ලංකාවේ සේවා වියුක්තිය 5.7%ක් දක්වා 2021 ජනවාරිය වන විට ඉහළ ගොස් ඇත. (https://tradingeconomics.com/sri-lanka/unemployment-rate ) දැන් වන විට එම තත්වය තවදුරටත් නරක අතට හැරී ඇතිවාට සැකයක් නැත. 2019 වසර අවසාන වන විට 2.255ක් වූ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය එනම් ආර්ථික වර්ධනය 2020 අවසාන වන විට – 3.569 ක් දක්වා පහත වැටී ඇත. (https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.KD.ZG?locations=LK2021) මහබැංකුවේ සංඛ්‍යාලේඛන අනුව 2021 අවසන් කාර්තුවේදී 1.3ක වර්ධනයක් ලබා ගැනීමට සමත් වී ඇතත් සමස්ත වශයෙන් ඇත්තේ සෘණ ආර්ථික වර්ධනයකි. (https://www.cbsl.gov.lk/en/economic-and-statistical-charts/gdp-growth-chart) කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2021 ජනවාරිය වන විට 3.7ක අගයක පැවැති උද්ධමනය 2021 ජූලි වන විට 5.7 දක්වා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2021 ජූලි වන විට උද්ධමනය 6.8 කි. මෙය අතිශයින් සීඝ්‍ර වර්ධනයක් වන අතර කොවිඩ් හේතුවෙන් අර්බුදයට ලක් වී ඇති ජනයා තව තවත් අර්බුදයකට යැවීමකි. (https://www.cbsl.gov.lk/en/statistics/statistical-charts)

මේ ආකාරයට දරුණු ආර්ථික අර්බුදයකටත් ගොදුරු වී ඇති පොදු ජනයාට එකී අර්බුදයෙන් තමන්ව ගොඩගන්නා බවට ආණ්ඩුවෙන් සලකුණු ලැබෙන්නේ නැත. ආණ්ඩුව ජනයාට බලාපොරොත්තු ලබා දීමට අසමත් වී ඇත. එසේ බලාපොරොත්තු සැපයීමට ආණ්ඩුව විසින් සිදු කරන ජනාධීපතිවරයාගේ ජාතිය ඇමතීමේ සිට සියළු කටයුතු අසාර්ථක වී ඇත. එකම බලාපොරොත්තුව බවට වේගවත් ලෙස සිදු කරන කොවිඩ් එන්නත්කරණය තිබුණද මේ වන විට කොවිඩ් එන්නත්කරණයෙන් වසංගතයෙන් බේරීමට නොහැකි බවටත් සිදු වන්නේ මාරාන්තික නොවීම පමණක් බවත් පැවසූ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශත් පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටි සමාජයේ ප්‍රභූන් මිය යාමත් හේතු කොට ගෙන එම බලාපොරොත්තුවත් ජනතාවගෙන් වියැකෙමින් තිබේ. එන්නත්කරණය සදහා දැඩි උනන්දුවක් පවතින්නේ රෝගයෙන් ආරක්ෂා වීමට ජනතාවගේ අවශ්‍යතාවය නිසා වුවද, එන්නත්කරණය පූර්ණ ලෙස අවසන් වූ පසුවත් තමන්ගේ ආර්ථික කටයුතු සුපුරුදු ලෙස සිදු කර ගත හැකි යැයි යන විශ්වාසය ජනතාව තුළ නැත.

ජනතාවගේ මේ බලාපෙරොත්තු කඩ වීම තවත් උත්සන්න වන්නේ විටින් විට පැනවෙන අගුලු දැමීම් හේතු කොටගෙනය. විශේෂයෙන් පාසල් වයසේ දරුවන් නිවෙස් වල සිටින තත්වය තුළ අගුලු දැමීම් නැතිවද තත්වය තවත් දරුණු වී තිබේ. රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යානාංශයේ සහය කථිකාචාර්ය දිනේෂා කංකානම්ගේ විසින් ඔවුන් විසින් සිදු කරන ලද පර්යේෂණයක් පදනම් කරගෙන අදහස් දක්වමින් ප්‍රකාශ කලේ පවුල් තුළ දරුණු ආතති තත්වයක් කාවිඩ් 19 තත්වය තුළ නිර්මාණය වී ඇති බවයි. විශේෂයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යාම, එම ප්‍රචණ්ඩත්වය කලත්‍රයන් අතර පමණක් නොව දරුවන් අතරද, මහල්ලන්ට එරෙහිවද ඉහළ යාමක් සිදු වී ඇත. (ඇයගේ අදහස් සදහා – අයිතිය යූටියුබ් නාලිකාව https://www.youtube.com/watch?v=zi4QQitCUKs ) මෙම පර්යේෂණයට සම්බන්ධ වුනු කාන්තාවන් විසදෙනාගෙන් 12 දෙනෙකුම අසීමාන්තික ලිංගික හිරිහැරයන්ට අගුලු දැමීමේ කාල සිමාවන් හිදී ලක් වි තිබෙන බවයි ඇය වැඩිදුරටත් අදහස් දක්වනනේ. (ඇයගේ අදහස් වැඩිදුරටත් දැන ගැනීම සදහා වසංගත කාලයක ලංකාව කෘතිය සදහා පිවිසෙන්න http://www.right2lifelanka.org/publications/ )

ආරම්භයේදී ආණ්ඩුව විසින් විද්‍යාත්මක ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතු කොට ගෙන ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් වර්ධනය වූ කොවිඩ් නව ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය මගින් නැවත නැවතත් අගුළු දැමීමේ තත්වය වර්ධනය කර තිබෙන පසුබිමක තව තවත් පොදු ජනයාගේ ආතති තත්වයන් නිර්මාණය වීම නොවැළැක්විය හැකියි.

ආර්ථික හා සමාජ වශයෙන් ඉච්ඡා බංගත්වයට පත් වී ඇති ශ්‍රී ලංකා ජනතාවට දේශපාලන වශයෙන්ද ඇත්තේ ද ඉච්ඡා භංගත්වයක්. ඊට හේතුව මෙම සමාජ ආර්ථික ප්‍රශ්නයන්ට ආමන්ත්‍රණය කල හැකි නායකයෙන් විපක්ෂයේ නොමැති වීම. ආණ්ඩුව කෙරෙහි කල කිරුණු ජනයා මේ මොහොතේ විපක්ෂයේ සිටින නායකයන්ට මෙම ප්‍රශ්නයන්ට විසදුම් සැපයිය හැකි යැයි සිතන්නේද නැහැ. ඒ තත්වය තුළ දේශපාලනික වශයෙන්ද බලාපොරාත්තු කඩවීමකට ජනතාව පත් වී තිබේ.

මෙම තත්වයන් තුළ යම් පමණකට හෝ මිනිසුන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වන්නේ ක්‍රීඩාව මගිනුයි. ලංකාවේ ක්‍රීඩාවට අත් වී ඇති ඉරණම ශෝචනීයයි. ක්‍රිකට් ක්‍රීඩාව තුළ ජයග්‍රහණයක් ලබන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර, ඉන්දියාවේ කණිෂ්ඨ කණ්ඩායමකටත් පරාජය වන මට්ටමක් මේ වන විට ලංකාවේ ක්‍රිකට් වලට උදා වී තිබේ. සහභාගී වූ ක්‍රීඩකයන් ප්‍රමාණය මෙන් සිව් ගුණයකටත් වඩා නිලධාරීන්ද ක්‍රීඩා ඇමති ඇතුළු තවත් ඔහුගේ හිත මිතුරු ඇමතිවරු කිහිප දෙනෙක්ද සහභාගී වූ ඔලිම්පික් උළෙලේ කිසිදු ක්‍රීඩකයෙක් පදකක්මක් කෙසේ වෙතත් කිසිදු සැලකිය යුතු දක්ෂකමක් දැක්වූවේ නෑ. අත පහ හතර හොදට ඇති ක්‍රීඩකයන් සහභාගී වන ඔලිම්පික් වලින් පසු ශරීරයේ යම් ආබාධයන් ඇති වූ ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝක වාර්තාවක්ද තබමින් දිනේෂ් ප්‍රියන්ත ලබා ගත් රන් පදක්කම බලාපොරොත්තු කඩ වූ ශ්‍රී ලංකා ජනතාවගේ හිත් තුළට ජයග්‍රාහී අස්වැසිල්ලක් ගෙන එනු ඇති. විශේෂයෙන් ක්‍රිකට් වැනි ක්‍රීඩාවකින් වසරකට එක ලෝක වාර්තාවක් හෝ තැබූ ශ්‍රී ලංකාව මේ ලෝක වාර්තාව තබන්නේ සෑහෙන්න කලකට පසුවයි. කදුළු මුහුදක සිටින ලංකාවේ ජනයාගේ පැත්තෙන් ගත් කල දිනේෂ් ප්‍රියන්තගේ මේ පියවර රන් පදක්කමකට වඩා එහා ගිය එකක්.

දිනේෂ් ප්‍රියන්තගේ මේ ජයග්‍රහණය ගැන තරුණ කිවිදියක වන අනුරාධි උත්තරා ජයපැතුම් ලියූ කවියකින් මේ සටහන අවසන් කල හැකියි.

සටන් බිම මරු පැරැද්දූ

ලොවක අත්පොඩි ඇවිස්සූ

කදුළු මුහුදක් අතර තනිවුන

මවක් දිනවපු මිනිස්සූ

-දුලාන් දසනායක-

 

 

Social Sharing
නවතම විශේෂාංග