
ලේඛක දීපචෙල්වන් විසින් මෙරටට ගෙන්වන ලද කෘති 360ක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන අදට දින 18+කට වඩා ගතවී ඇත. මෙම පොත් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මතුව ඇති නවතම තත්ත්වය අතිශය සුවිශේෂී මෙන්ම ගැඹුරු විමසීමකට ලක්විය යුත්තකි. සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් තමන්ට දැනුම් දුන් පරිදි, අදාළ පොත් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට දෙමළ ලේඛකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර ඇති බවත්, එම පොත් කියවා බලා ඒවා ‘රටට හිතකරද නැද්ද’ යන්න තීරණය කිරීමට නියමිත බවත් දීපචෙල්වන් සඳහන් කරයි.
දීපචෙල්වන් සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳව මෙසේ සටහන් කර ඇත:
“පොත් නිදහස් කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබාදීම සඳහා’ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මට ආරාධනයක් ලබා දී ඇත.
අද(April 11) උදෑසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මාව සම්බන්ධ කරගෙන, දෙමළ ලේඛකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පොත් කියවා, ඒවා රටට එරෙහි බවට මතු වී ඇති සැකයන් පිළිබඳව පරීක්ෂා කිරීමට නියමිත බව පැවසීය. මගේ පාර්ශවයෙන් ලේඛකයෙකු ආරාධනා කිරීමට ඔවුන් ඉල්ලා ඇත. එමෙන්ම, මගේ පාර්ශවයෙන් සිංහල ලේඛකයෙකුද ආරාධනා කරන ලෙස මම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළෙමි. ඔහුද එයට එකඟ විය. රජය විසින් ජාතික එකමුතුවට බලපෑම් ඇති කළ හැකි බවට සැක කරන මගේ පොත් පිළිබඳව, මගේ යුක්ති සහ සාධාරණතා මෙම හමුවේදී ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. මෙම සාකච්ඡාව එළඹෙන 17 වන දින සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.” (උපුටා ගැනීම අවසන්)
මෙහිදී බරපතල ප්‍රශ්න කිහිපයක් පැනනගී. රේගුව විසින් මෙම පොත් රඳවා ගනු ලැබුවේ ඒවා කියවා බැලීමෙන් පසුවද? එසේ කියවා බැලුවේ නම්, එමඟින් ‘ජාතික සමගියට’ හානියක් වේ යැයි පැවසීමට ඔවුන්ට ඇති ‘සාධාරණ සැකය’ කුමක්ද? සාහිත්‍ය කෘතියක ගුණාගුණ හෝ අන්තර්ගතය විමසීමට රේගුව වැනි ආයතනයකට ඇති ප්‍රවීණතාව කුමක්ද? ‘ජාතික සමගිය’ යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද? යන්න විමසීම අතිශයින් වැදගත් වනු ඇත (ඉදිරියේදී අදාළ පොත් නිදහස් කළ ද මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීම අතිශයින් තීරණාත්මක වනු ඇත). කෙසේ නමුත්, ‘ජාතික සමගිය’ යන්න පාලකයාගේ හෝ කිසියම් අධිකාරියක රුචිකත්වය මත අර්ථකථනය කරන උපකරණයක් බවට පත්වන විට, නිදහස් චින්තනයට ඉතිරි වන අවකාශය කුමක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වගකීමක් ඇතත්, වර්තමාන වාතාවරණය හමුවේ එය සිදුවීමේ ඉඩකඩ බෙහෙවින් අල්පය.
PSTA පනත් කෙටුම්පත සහ පොත් රඳවා ගැනීමේ සබඳතාව
මෙම සටහනේ මූලික අරමුණ වන්නේ දීපචෙල්වන්ගේ පොත් රඳවා ගැනීම සහ ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) අතර ඇති අවියෝජනීය සබඳතාව විමසා බැලීමයි. මෙම පනත් කෙටුම්පත (PSTA) මඟින් පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සන්නිවේදනයේ රහස්‍යභාවය දඩයම් කිරීමට යෝජනා කර ඇති ආකාරය දීපචෙල්වන්ගේ සිදුවීම සමඟ සමපාත වේ.
සන්නිවේදනයට සවන් දීම සහ අගුළු හැරීමේ (Decryption) බලතල (55 වැනි වගන්තිය):
මෙම (යෝජිත)කෙටුම්පතේ 55 වැනි වගන්තිය මඟින් රජයට පුද්ගලයන්ගේ පෞද්ගලික සන්නිවේදනයන්ට සවන් දීමටත්, ඕනෑම සන්නිවේදනයක රහස්‍යභාවය බිඳීමටත් (Decryption) පුළුල් බලතල ලබා දෙයි. විශේෂයෙන්ම WhatsApp හෝ Signal වැනි ‘ගුප්ත කේතනය’ (Encrypted) කළ සන්නිවේදනයන් පවා අගුළු හැර තොරතුරු ලබා දෙන ලෙස සේවා සපයන ආයතනවලට හෝ අදාළ පුද්ගලයන්ට නියෝග කළ හැකිය. “සාධාරණ සැකය” වැනි ලිහිල් පදනමක් මත ලබාගත හැකි මෙම නියෝග හරහා ඕනෑම ඩිජිටල් සන්නිවේදනයකට ප්‍රවේශ වීමට බලධාරීන්ට නීතිමය ඉඩකඩ සැලසේ.
පුද්ගලිකත්වය ගරු නොකරන, මිනිසුන්ව නිරන්තර විමර්ශනයට හා ආවේක්ෂණයට (Surveillance) ලක් කරන මෙවැනි වටපිටාවක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යන්න හුදු සිහිනයක්ම පමණි. තනි මිනිසෙකුගේ පෞද්ගලික හඬ පාලනය කරන හෝ නිහඬ කරන පාලනයක්, සමාජයක සාමූහික සත්‍යය ප්‍රකාශ කරන කිසිදු අදහසක ක්රියාකාරීත්වයකට පැවැත්මට ඉඩ නොතබන බව පැහැදිලිය.
ශ්‍රී ලංකා රේගුව විසින් පොත් රඳවා ගැනීමත්, යෝජිත PSTA පනත මඟින් සන්නිවේදනයන් පරීක්ෂා කිරීමට/පිවිසීමට උත්සාහ කිරීමත් යනු එකම ‘සැකයේ දෘෂ්ටිවාදයක’ ප්රකාශනයන් දෙකකි. එබැවින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් යෝජනා කර ඇති මෙම පනත් කෙටුම්පත යනු පුරවැසියාගේ පෞද්ගලිකත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද දඩයම් කරන මර්දනීය මෙවලමකි. මෙවැනි අත්තනෝමතික බලතල සහිත කෙටුම්පතක් මඟින් සිදු කරන්නේ නිදහස් චින්තනයේ මරණ වරෙන්තුව ලියා තැබීමයි.
දැන් අපට ලේඛක දීපචෙල්වන්ගේ පොත් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමටත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙස ඉල්ලීමටත් සිදුව ඇත්තේ, එවන් මර්දනකාරී ‘නීතිමය යෝජනාවක්’ ගෙන ආ ආණ්ඩුවකින්ම වීම කෙතරම් උත්ප්රාසයක්ද?
එපමණක් ද නොවේ, ලේඛක දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා තබා ගැනීමත්, යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ’ මර්දනකාරී ප්රතිපාදනත් යනු හුදෙක් පරිපාලනමය ගැටලු දෙකක් නොව, ‘සැකය’ පදනම් කරගත් එකම දෘෂ්ටිවාදයක ප්රකාශනයන්ය. එමඟින් රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික සමගිය යන නාමයෙන් පුරවැසියාගේ නිදහස් චින්තනය සහ සන්නිවේදනයේ රහස්‍යභාවය යන දෙකම පාලනය කිරීමට රජය දරන ඒකාධිකාරී උත්සාහය මැනවින් නිරූපණය වේ. ඕනෑම පුද්ගලික සන්නිවේදනයක් කියවීමට (Decryption) නීතිමය ඉඩකඩ සලසා ගන්නා, හෝ ගැනීමට යෝජනා කරන රාජ්‍යයක්, තවත් පසෙකින් පොත්පත් කියවා ‘නිදහස් සහතික’ දීමට සැරසීම හරහා පෙන්නුම් කරන්නේ, පුද්ගල නිදහස මෙන්ම සාහිත්‍යමය පරිකල්පනය ද රාජ්‍ය පාලන යන්ත්‍රයේ දැඩි ආවේක්ෂණයට (Surveillance) යටත් කරමින්, විකල්ප අදහස් සහ බුද්ධිමය ප්රතිරෝධයන් දඩයම් කරන අතිශය දරුණු සහ ව්‍යුහාත්මක දේශපාලන මර්දනයකි.
එසේ වූ විට, අප සිතිය යුත්තේ, ලිවිය යුත්තේ හෝ කතා කළ යුත්තේ පාලකයාගේ රුචිකත්වයට, කිසියම් කමිටුවක සහතිකයකට හෝ රාජ්‍යයේ ‘සැකයට’ අනුකූලවද? ප්රකාශනයේ නිදහස යනු කිසිවකුගේ අනුමැතිය මත යැපෙන්නක් නොවේ. නිර්මාණශීලී පරිකල්පනය රජයේ ආවේක්ෂණයට (Surveillance) යටත් කරන මොහොතේම ප්රජාතන්ත්රවාදී වටිනාකම් හැකිලී යන අතර, ඉන්පසු ඉතිරි වන්නේ පාලකයාගේ හඬ පමණි. සැබෑ නිදහස පවතින්නේ ඕනෑම තහංචියකට එපිටින් මිස, රජයේ අනුදැනුම මත ක්‍රියාත්මක වන දැඩි සීමිත අවකාශයක නොවේ.
එසේම, මෙම අර්බුදය හුදෙක් දීපචෙල්වන්ගේ පොත් පිළිබඳ ගැටලුවක් පමණක් නොව, රාජ්‍යයේ ජනප්‍රිය, පහසු මතවාදයට වෙනස් අදහස් දරන්නන්ගේ ප්රකාශනයේ නිදහස පිළිගැනීමට අදාළ ගැඹුරු ව්‍යුහාත්මක ප්රශ්නයකි. වැදගත්ම කරුණ නම්, මෙම තත්ත්වය දෙමළ ජනතාවගේ පීඩිත සාමූහික මතකයෙන් සහ දෙමළ දේශපාලන ප්‍රශ්නයෙන් බැහැර කර තනිව හුදෙකලා කොට සාකච්ඡා කළ නොහැකි වීමයි. එවැනි ලේඛන කලාවක් තර්ජනයට ලක් කිරීම යනු හුදෙක් අකුරු තහනම් කිරීමක් පමණක් නොව, සාමූහික දේශපාලන අරගලයක් සහ අනන්‍යතාවක් මැකීමට දරන තවත් ප්රයත්නයක දිගුවකි.
පසු සටහන
යෝජිත PSTA ‘එය යෝජනාවක් පමණක්’ යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවද, රාජ්‍ය සම්පත් හා මහජන මුදල් වැය කරමින් කෙටුම්පත් කරනු ලබන නීති යනු ආණ්ඩුවක(විශේෂයෙන් ශ්‍රී ලංකාවේ) දෘෂ්ටිවාදයේ ප්රකාශනයයි. මහජන අදහස් විමසීමට ලක් කළ ද, ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ යනු ජාතික ජන බලවේගයේ දේශපාලන ස්ථාවරයයි. දෘෂ්ටිවාදයයි. මහජන ක්රියාකාරිත්වයන් හමුවේ ඉදිරියේදී එය ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදුවුවහොත්, ඒ පිළිබඳ ස්වයං විවේචනාත්මක අදහසක් ඉදිරිපත් නොකරන තාක් එය ඔවුන්ගේ දෘෂ්ටිවාදය ලෙසම පවතී.
එබැවින් නැවතත් කිව යුතු වන්නේ, අද අපට දීපචෙල්වන්ගේ පොත් නිදහස් කර ගැනීමටත්, අදහස් ප්රකාශනයේ නිදහස සුරක්ෂිත කිරීමටත් ඉල්ලා සිටින්නට සිදුව ඇත්තේ එවන් දෘෂ්ටිවාදයකින් වීම අතිශය ඛේදනීය යථාර්ථයකි.
උපුටා ගැනීම විකල්ප ෆේස් බුක් පිටුවෙනි
