
ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර උද්ගතව ඇති යුද තත්ත්වය හේතුවෙන් ආසියාවේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති බවත්, එක් අවස්ථාවක ශ්‍රී ලංකාවට බෙදා හරින ලද ඉන්ධන බැරලයක් සඳහා ඩොලර් 286ක් දක්වා මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම අදහස් ඔහු ප්‍රකාශ කර ඇත්තේ හොංකොංහි පැවති HSBC ගෝලීය ආයෝජන සමුළුවේදී, Bloomberg Television හි ඩේවිඩ් ඉන්ගල්ස් සමඟ පැවති සංවාදයකදීය.
එහිදී ජෝර්ජස් එල්හෙඩරි සඳහන් කර ඇත්තේ, ගෝලීය ආර්ථිකයට ඇති විශාලතම අවදානමක් වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ අර්ධ වශයෙන් වසා දැමීම හේතුවෙන් සිදුවිය හැකි බලපෑම් බවයි.
ඔහු පැහැදිලි කර ඇත්තේ මාධ්‍යවල පළවන ඉන්ධන මිල ගණන් වලට අමතරව, ප්‍රවාහන ගාස්තු, යුද රක්ෂණ වියදම් සහ අනෙකුත් වියදම් එක් වීමෙන් සැබෑ බෙදාහැරීමේ මිල විශාල ලෙස ඉහළ යන බවයි. විශේෂයෙන් රතු මුහුද හරහා ප්‍රවාහනයේදී නැව් ගාස්තු ඩොලර් 30 සිට 40 දක්වා වැඩි වන අතර, රක්ෂණ වියදම්ද පෙර 0.25% සිට 5% දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කර ඇත.
මේ අතර, ඊයේ (අප්‍රේල් 17) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සභාපතිවරයා එම ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් ඩොලර් 286කට මිලදී ගෙන නොමැති බවයි.
ඔහු පැවසුවේ, මෙම අර්බුදය ආරම්භ වූ පසු ශ්‍රී ලංකාවට පැමිණි මර්බන් බොරතෙල් නැවක බැරලයක මිල ඩොලර් 66.99ක් වූ අතර, නවතම නැවක මිල ඩොලර් 71.99ක් බවයි.
එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩීසල් මිලදී ගැනීමේදී ඉහළ මිල ගණන් ගෙවීමට සිදුව ඇති බවත්, එක් අවස්ථාවක ඩීසල් බැරලයක් සඳහා ඩොලර් 285.28ක් සහ තවත් අවස්ථාවක ඩොලර් 281.87ක් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු අනාවරණය කළේය.
තවද, සුපර් ඩීසල් සඳහා ඩොලර් 303.77ක් දක්වා මුදලක් ගෙවීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
CPC සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, HSBC ප්‍රධාන විධායකවරයාගේ ප්‍රකාශය මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති හෝ හිතාමතා ප්‍රචාරය කර ඇති හැකියාවක් පවතින බවයි. එවැනි ප්‍රචාර හේතුවෙන් රට තුළ කැළඹීම් ඇති විය හැකි බැවින්, අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අදාළ අංශ දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉන්ධන සැපයුම පවත්වා ගැනීම සඳහා ඉහළ මිල ගණන් යටතේද ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
උපුටා ගැනීම BBC සිංහල පිටුවෙනි
