සිනෝවැක්ස් නිශ්පාදනය මිනිස් ජීවිත උකසට තබා කෙළින තවත් මගඩියක් ද?

ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රයේ වැඩකරන මිනිසුන් කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් (vaccines) නිශ්පාදනය යනු බෙහෙත් නිශ්පාදනයේ ඉහළම අවකාශය කියලා. ඒ හරහා ඔවුන් කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් නිශ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරන්න වෙනවා කියන දේ. තාක්ෂණය, පර්‍යේෂණය, දැනුම පහසුකම් මේ සියල්ල ප්‍රශස්ථ විදිහට අවශ්‍යයි මේ කාරණයට. මේ වෙනකොට කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් විශාල ප්‍රමානයක් භාවිතයට ඇවිත් තිබෙනවා. මේ සියල්ලම වාගේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිස්සි භාවිතය වෙනුවෙන් අවසර ලබාදුන්න ඒවා. වසංගතයේ තිබෙන දරුණු හැසිරීම නිසාම හදිස්සි භාවිතයට ආපු මේ ප්‍රතිශක්තිකරණ එන්නත් (Oxford/AstraZeneca, Pfizer/BioNTech, Sinopharm/Beijing, Sputnik V, Johnson&Johnson, Moderna, ) සියල්ලම පාහේ භාවිතයට ආවේ වෙනදා යන පාරේ ගිහිං නෙවෙයි. වෙනදා කරන සායනික පරීක්ෂණ වගේ දේවල් මෙවර කළේ නැහැ නෙවෙයි කරන්න කාලයක් මේ වෛරසය දුන්නේ නැහැ. ඒ හින්දා දැන් මේ ගහන එන්නත් උනත් සායනික පරික්ෂාවන් කිව්වට වැරදි නැහැ. තත්ත්වය මේක වුණත් හැවෝටම හිතුන හිතුන විදිහට එන්නත් හදන්න හෝ ඇසුරුම් කරන්න බැහැ. ඒකට හේතුව මේවා එක්ක සල්ලිවලට වඩා මිනිස්සුන්ගේ ජීවිතය, ප්‍රානය බැඳිලා තිබිම. ඒනිසා ලෝක සෞඛ්‍ය සංවිධානය හදිස්සි අවසරය දුන්නා කියලා ඒ එන්නත නිසි ප්‍රමිතියක් නැතුව හදන්න හෝ එම මවු සමාගම තිබෙන රටකට පිටස්තර රටකදී නිසි ප්‍රමිතියක් නැතුව අසුරන්නවත් බැහැ. එහෙත් ලංකාවේ තත්ත්වය වෙනස්.

අපි සිනෝවැක්ස් මෙහේ හදනවා

කවුද මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන. අමාත්‍යවරයා පහුගිය කාලේ දිගටම මෙහෙම කිව්වා. ඒකාලේ මෙහෙම කියනකොට ඇත්තටම මේ සිනෝවැක්ස් (Sinovac) කියන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවෙලා තිබුණෙත් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිළ වෙබ් අඩවියට අනුව පසුගිය ජුනි 1වෙනිදා තමයි හදිස්සි භාවිතයට මෙම එන්නතට අවසර ලබාදෙන්නේ. මේ අවසරය එක්ක හරි අපූරු දේවල් ටිකක් ලංකාවේ සිද්ධවෙනවා. ඇත්තටම කියනවනම් නිසි ප්‍රමිතියකට නිසි විද්‍යාත්මක රසායනාගාර තත්ත්වයන් යටතේ මේක අපිට හදන්න පුලුවන්නම්, ඒ කියන්නේ මැනුෆැක්චර් කරන්න පුලුවන්නම් ඒක රටක් වශයෙන් අපි ලබන විශාල ජයක්. මේ ලියුම්කරු හෝ කවුරුවත් එයට විරුද්ධ නැහැ. ඒත් කොරෝනාව ගරානාවක් කරගෙන නිසි ප්‍රමිතියක් නැතුව ජනතාවගේ ජීවිත අනතුරේ හෙළමින් මේක කරන්න යනවනම් ඒකට අපි හැවෝම පුරවැසියෝ විදිහට විරුද්ධ වෙන්න ඕනෑ. ඉතිං ඒ අස්ථානයේ ඉඳලා තමයි මේක ලියන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ EUL ලිස්ට් එකට මේ එන්නත දැම්මට පස්සේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ආයතනයේ ලොක්කා වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශගේ එෆ්බී ගිනුම, මෙම අනුමැතිය ගැන සඳහන් කරමින් කරන ප්‍රකාශයෙන් ඔහු උත්සාහ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ එන්නත ලංකාවේ මැනුෆැක්චර් කරන්න අවසර ලබාදුන්නා කියන අදහස ජනතාවට දෙන්න. මේකත් කිංස්ලිගේ ප්‍රකාශයට දෙවෙනි නැහැ වගේ කියලයි අපිට හිතෙන්නේ. මේවා සැකසහිත තැන්!. මේ සැකයත් එක්ක සොයා බැලුවාම අහන්න ලැබුණ කතා එතරම් ජනතාවගේ පැත්තෙන් සුබ නැහැ. මෙම එෆ්බී ගිනුමම ප්‍රකාශ කරන විදිහට මේ ලිපිය ලියන ජුනි 6 වෙනිදට දවස් පහකට කළින් වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංස, අමාත්‍ය චන්න ජයසුමන, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සභාපති වෛද්‍ය රසිත විජේවන්ත, සහ එම ආයතනයේ වෛද්‍ය ලක්ශිත රාජකරුණා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අතර හමුවක් පැවතිලා තිබෙනවා. එම අවස්ථාවේ ඡායා පළකරමින් එස්පීඑම්සී ලොකුමහතා සඳහන් කරන්නේ වැදගත් තීන්දු රැසක් ගන්නට හැකිවුණා කියලා. මෙම චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය ලැබීමත් සමගම තමයි මෙම හමුව පැවැත්වෙලා තිබෙන්නේ. මේ කියන වැදගත් තීන්දු මොනවාද? ඒවා ජනතාව දැනගත යුතු නැද්ද?

Kelun Lifesciences

ඉහත හමුවට පස්සේ අපිට වාර්තා වෙන විදිහට පල්ලෙකැලේ ආයෝජන කලාප භූමියේ පිහිටලා තිබෙන, ඖෂධ නිශ්පාදන සමාගමක් වෙන Kelun Lifesciences (Pvt.) Ltd. නිශ්පාදන කළමනාකරු නඩරාජා සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන පිරිස NMRA සභාපති වෛද්‍ය රසිත විජේවන්ත සහ එම ආයතනයේම වෛරස විශේෂඥ කාන්ති නානායක්කාර සහ තවත් පිරිසක් හමුවෙලා තිබෙනවා. ඒ NMRA සභාපතිගේ කාර්‍යාලයේ. මේ හමුවේ අරමුණ වෙලා තියෙන්නේ සිනෝවැක්ස් කියන මෙම එන්නත පල්ලෙකැලේ පිහිටලා තිබෙන මේ කියන ඖෂධ නිශ්පාදනාගාරයේ නිශ්පාදනය කිරීම වෙනුවෙන්, හැකි ඉක්මනින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබා ගැනීම. මේ එන්නත මැනුෆැක්චර් කරන්නට මේ ආයතනයට තිබෙන පහසුකම් සහ හැකියාවන් මොනවාද කියන දේ මේ අවස්ථාවේ NMRA සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා විමසලා තිබෙන බව දැනගන්නට තිබෙනවා. ඒ වගේම මේ එන්නත මැනුෆැක්චර් කරන්නට බලාපොරොත්තුවෙන්නේ කොහොමද කියලා ඔවුන් මේ පිරිසගෙන් විමසලා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හමුවෙන්නට ආ පිරිස මෙහිදී කියලා තියෙන්නේ චීනයෙන් ගෙන්වන සිනෝවැක්ස් එන්නත, මෙහිදී කුප්පිවල අසුරන්නට බලාපොරොත්තු වෙන බවය. මෙය සත්‍යක් නම් මුලින්ම එන ප්‍රශ්නය චීනයෙන්ම කුප්පි ගෙනාවාම අහවරයි නේ කියන දේ. ඇත්තටම මොකද්ද මෙතන තිබෙන ප්‍රශ්නය?

මූලිකම ප්‍රශ්නය එහෙම සැකසුමක් පාර්මසිටිකල් මැනුෆැක්චරින් (pharmaceutical manufacturing) යන්න යටතට වැටෙනවා ද කියන කාරණයයි. මේ ගැන දන්න විශේඥයන් කියන්නේ ඖෂධ නියාමන අධිකාරියට මෙයට දවසින් දෙකෙන් කෙසේවත් තිබෙන නීතිමය තත්ත්වය යටතේ අවසර දෙන්න බැහැ කියලා. අනික් කාරණය තමයි මෙම එන්නත් කුප්පිකිරීමේ ක්‍රියාවලිය පාර්මසිටිකල් මැනුෆැක්චරින් (pharmaceutical manufacturing) කියන කාරණය යටතට වැටෙන්නේ නැහැ කියලත් ඔවුන් කියනවා.

පාමසිටිකල් මැනුෆැක්චරින් කියලා කියනකොට සාමාන්‍යයෙන් ඇක්ටිව් පාමසිටිකල් ඉන්ග්‍රීඩන්ස් (api) ගේනවා. ඊළඟට ඒකට ඇඩ් කරන දේවල් ගේනවා. ඕනෑ බෙහෙතකට ඇඩ් කරන ජාති ගොඩක් තියෙනවා. ඔබ පැනඩෝල් ගැන හිතන්න API එක තමයි පැරසිටමෝල් කියලා කියන්නේ. හැබැයි පැනඩෝල් එකක් හදන්න තවත් ජාති 8ක් 10ක් එකතුවෙනවා  API එකට. එතකොට ලෝකල් මැනුෆැක්චරින් කිව්වාම රෝ මැටිරියල් වෙන වෙනම ගෙනල්ලා මෙහේ රත් කරලා දියකරලා කූල් කරලා හදනවා. එතකොට මෙයාලා මේ කරන්න යනදේ ලෝකල් මැනුෆැක්චරින් කියලා පිළිගන්න බැහැ. මේක තමයි පාමසී ක්ෂෙත්‍රයේ ඉන්න ප්‍රවීනයන්ගේ අදහස. මෙහෙම බැලුවාම මේ කුප්පි කිරිල්ලට අවසර දෙන්න විදිහක් නැහැ. ඇත්තටම වෙන්නේ මේකනම් මෙතන විශාල මගඩියක් වෙන්න තිබෙන ඉඩ විශාලයි. රසායනාගාර පහසුකම් තාක්ෂණික පහසුකම් සපුරලා නැති නිශ්පාදන ආයතනයකට මෙවැනි බරපතළ කාරණයක් භාරදිය හැකිද? එය මිනිස් ජීවිතවල වටිනාකම බිංදුවට දැමීමක් නොවන්නේද? මෙම ඖෂධ සමාගමේ වෙබ් අඩවියට යන්නට උත්සාහ කළත් එවැනි වෙබ් අඩවියක් සොයාගන්නට නොහැකිවුණා.

ඖෂධ නියාමන අධිකාරියේ මතය

අපි භාවිතා කරන ඖෂධවලට ඒ භාවිතයන් සඳහා අවසරයන් ලබාදෙන ආයතනය තමයි ඖෂධ නියාමන අධිකාරිය. නැතිනම් NMRA එක. මේ සාකච්ඡාවෙදී මෙම අධිකාරියේ සභාපතිවරයා වැදගත් ස්ථාවරයක සිටිය බවටයි ආරංචි පවතින්නේ. ඔහු එහිදී කියලා තියෙන්නේ මේ අවසර දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේඥ කණ්ඩායමක් ගෙන්වලා ඔවුන්ගෙන් නිර්දේශයන් ලබාගැනීම වැදගත් කියලා. ජනතාවගේ ජීවිත අනතුරේ හෙළිමේ අවධානම නොගෙන ඉහත සංවිධානයේ විශේඥ මතය මේ පිළිබඳව ලබාගැනීමේ වැදගත් කම ඔහු මෙහිදී දිගින් දිගටම අවධාරණය කර තිබෙනවා. එය සත්‍යක් නම් එම ස්ථාවරය රටේ ජනතාවගේ පැත්තෙන් ඔවුන්ගේ ජීවිත පැත්තෙන් ඉතාමත් හොඳ බව තමයි අපගේත් අදහස. මේ වෙලාවේ රාජ්‍ය ඖෂධ නීතිගත සාංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංස වැනි අයගේ අදහස වී ඇත්තේ මෙම අවසර ලබාදීම සඳහා නිර්දේශ සහ අවශ්‍ය මඟපෙන්වීම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගන්නට ගියහොත් ඉක්මනින් ජනතාවට එන්නත් ලබාදිය නොහැකිවනු ඇති කියන දේ. චීනයෙන් මහාපරිමානයෙන් සිනෝවැක්ස් එන්නත ගෙනල්ලා ඒක Kelun Lifesciences එකෙන් කුප්පිවලට දාලා, එස්පීසී ලේබලය ගැහීම මේ හදිස්සියට පිළියම ද? අපිනම් කියන්නේ ඊටවඩා හොඳ විසඳුමක් තිබිය හැකියි කියලා.

එනිසා අපිට පෙනෙන්නේ මේ පිරිස මෙම කාර්‍ය සඳහා ඉක්මන් අනුමැතියක් ලබාගැනීමට ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරනු ඇති බවයි. ඔවුන් සමහර විට මේ වෙනකොටත් ඒ ඉල්ලීම කරලා තිබෙන්න පුලුවන්. ජනාධිපති ගේ තීරණය අනුව ජනතාවට ගුණාත්මක එන්නතක් ලැබීමේ අවකාශය තීරණය වෙනු ඇති!. එන්නත් ඇනවුම් කිරීමට මුල් අවස්ථාවේදීම පියවර නොගත් මෙම රාජ්‍ය නිළධාරීන් මේ අවස්ථාවේදී මෙලෙස උද්‍යෝගයකින් කටයුතු කිරීම සැක උපදවනවා කියන දේත් අපි කියන්න ඕනෑ. බැඳුම්කර වංචාව, මහාපරිමාන සීනි බදු වංචාව වගේ දේවල් සිද්ධවුණ රටේ මේ හරහා ද යම් වංචාවක් වෙන්න පුලුවන් කියන දේ අපිට හිතෙනවා.

කොහොම වුණත් මම මේ හමුව ගැන සහ එහිදී ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ප්‍රකාශ කළා කියන ස්ථාවරය ගැන ඔහුගෙන්ම කරුණු විමසුවා. ඒ ප්‍රශ්නයට වෛද්‍ය රසිත විජේවන්ත මහතා ගේ පිළිතුර වුණේ, මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුලුවන් කියන දේ. ඔහු එහිදී යෝජනා කරන්නේ අපි මේ දිහා ධනාත්මකව බලමු කියලා. එහිදී ඔහු අවධාරණයෙන් කියනවා ඔහුගේ පැත්තේ උත්සාහය මේ අනුමැති ඉක්මනින් ලබාදීම කියලා.  ඒ අනුමැති ලබාදීමට ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ගනී කියලා අපි හිතනවා. ඒ ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන්!.

ඔහු එහෙම කිව්වත් ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ බලපෑමකින් තොරව ඔහුට කටයුතු කරන්න හැකිවෙයිද? එයත් ප්‍රශ්නාර්ථයක්. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නම් මෙවැනි ප්‍රතිශක්තීකරණ එන්නතකට අනුමැතිය ලබාදෙන්නට මාස හයක් වත් ගතවෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඒ මෙම අනුමැතිය දීමේ ක්‍රියාවලියේ තිබෙන සංක්‍රීණත්වය නිසා. ඒ සංක්‍රීණත්වය ගොඩනැඟිලා තිබෙන්නේම ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. වැක්සීනයක් කියන්නේ කාලාන්තරයක් ඇග අතුලේ තිබෙන දෙයක්. ඇග ඇතුලේ ප්‍රතිශක්තීකරණය හදන දෙයක්. ඒනිසා මේ බළධාරීන් ඩොලර් ගැන නොසිතා මිනිස් ජීවිත ගැන හිතන්න ඕනෑ. ටැබ්ලට්ස්, කැප්සූල්, සිරප්, ඔයිල්මන්ට්, ක්‍රීම්වර්ග හදනවා වගේ නෙවෙයි වැක්සීනයක් මැනුෆැක්චර් කරනවා කියන්නේ. ඒකට හැමදෙයක්ම ඉහළම තත්ත්වයේ තියෙන්න අවශ්‍යයි. අවම, චීනයෙන් ගෙන්වන ප්‍රමිතියෙන්ම එය භාවිතා කරන්නට හැකිවිය යුතුයි. කොහොම වුණත් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරන විදිහට පසුගිය මැයි 18 වෙනිදා තිබුණ කැබිනට් මණ්ඩල රැස්වීමෙදි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, Sinovac Biotech Ltd සහ Kelun Lifesciences (Pvt.) Ltd. කියන සමාගම් තුන එකතුවෙලා මෙම වැක්සීනය මැනුෆැක්චර් කරන්නට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරගෙන තියෙනවා.

එන්නතක මිල කීයක් වෙයිද?

අපි දන්නවා පහුගිය දවස්වල චීනය සිනෝෆාම් එන්නත අපට විකුණන මිල ගැන ගිය සංවාදය. ඒ ගැන කල්පනා කරනකොට අපිට අහන්නට වෙන්නේ මේ මැනුෆැක්චර් කරන්න යන එන්නතක මිල කීයක් වෙයිද? එය ඩොලර් 15කට වඩා වැඩි වෙයිද කියන එක. ඒ ඩොලර් 15 කතාව කරළියට ආවේ මේ එන්නතේ මිල තීරණය කිරීමේ පහසුව සඳහාද? රජය කියන විදිහට ඔවුන් අගෝස්තු මාසේ එන්නත් මාත්‍රා මිලියන 6ක් සහ සැප්තැම්බර් මාසයේ එන්නත් මාත්‍රා මිලියන 7ක් හැදීමට බලාපොරොත්තු වෙනවා. මෙයින් පෙනෙනවා මේ හරහා විශාල මුදලක් සංසරණය විය හැකි බව. ඒ නිසා මේ ක්‍රියාවලිය විනිවිද පෙනෙන ජනතාවට නිරන්තරව සත්‍ය දැනගන්නට ලැබෙන ක්‍රියාවලියක් වෙන්න අවශ්‍යයි. ඒ වගේම එය මගඩියක් නොවී ජනතාවගේ ජීවිත සුරකින ඔවුන්ගේ සෞඛ්‍ය සුරකින දෙයක් වෙන්න ඕනෑ. ඒ හින්දා ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ නියාමන රාජකාරිය ජනතාවගේ ජීවිතයේ වටිනාකම සලකා නිවැරදිව කරන්න ඕනෑ. මේ වෙලාවේ එන්නත් හදිස්සියි කියලා අපි කාටවත් ජනතාවගේ ජීවිතය මීටත් වඩා අනතුරකට හෙළන්න බැහැ. එනිසා ආණ්ඩුව මොනවා කීවත් ජනාධිපතිවරයා තමන්ගේ පත්වීම් බලධරයා වුණත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා නිසි ක්‍රියාමාර්ග තේරිය යුතුයි, ජනතාවගේ පැත්තේ ඉඳලා.

අපි අද හැවෝම දන්නවා ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රාවක මිල කියද කියලා. ඒවගේම මෙම වසංගතයට විරුද්ධව හොඳටම ප්‍රතිචාර දක්වනවා කියන ෆයිසර් එන්නත් මාත්‍රාවක මිල කීයද කියලා. 50%ක ක්‍රියාකාරීත්වයක් තිබෙනවා කියන මේ එන්නත මෙරටේ මැනුෆැක්චර් කරනවානම් එහි වාසිය හැම අතින්ම ජනතාව සතුවෙන්න ඕනෑ.

මෙහි එන අදහස් පිළිබඳව ප්‍රතිචාරය දැනගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සමාගමේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ 0714204262 යන දූරකථන අංකයට කිහිප වතාවක් ඇමතුවත් ඔහු එයට ප්‍රතිචාර නොදැක්වූ බව කිවයුතුයි. ඒ වගේම ප්‍රතිචාර දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ.

-කේ. සංජීව-

Social Sharing
නවතම