මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මරුට!

මඩකලපුව පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමක් පිලිබඳ ඊයේ (03) දින වාර්තා විය.

මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහී පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් 21 හැවිරිදි තරුණයෙකි.

මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට ලද තොරතුරක් මත මඩකපුව පොලිස්  බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉකුත් ජුනි 02 දා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවටය.

“එයාට මාංචු දාලා ගහක ගැටගහලා රෑ දහයමාරට විතර ගේ පරීක්ෂා කරා. මුකුත් හොයාගන්න බැරි වුණා. පස්සේ එයාව  ගෙදරින් මඩකලපු පොලිසියට ගෙනිහිල්ලා ලොකප් එකේ දැම්මා. අපිට කිව්වේ පොලිසියට එන්න එපා කියලයි. ඊට පස්සේ උදේ අපිට කිව්වා එයා මැරිලා කියලා, ඔලුවෙයි, බෙල්ලෙයි තුවාල පේන්න තියෙනවා,” යි විදූෂන්ගේ ඥාතීන් පවසයි.

මේ අතර විදුෂන්ගේ මව පවසන්නේ සිය පුතුට මාංචු දමා පැයක පමණ කාලයක්  පොලිස් නිලධාරීන් පහර දුන් බවය. පොලිස් වධහිංසා නිසා පුතු මිය යන්නට ඇතැයි  ඇය විශ්වාස කරයි.

මේ නිසා විදූෂන්ගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ මඩකලුව පොලිසීයෙන් ඉවත් කර එරාවුර් පොලිසීයට සිදු කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානි විසින් නියෝග කර ඇත.

සංචරණ සීමා දැඩි ලෙසම පවත්වාගෙන යන මඩකලපුව ප්‍රදේශයේ මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් විදුෂන්ගේ නිවසට  රැස් වීමට පටන් ගෙන ඇත.

එසේම මඩකලපුව පොලීසිය පවසන්නේ මොහු අත්අඩංගුවේ සිටියදී ගංජා ගිලීම නිසා මිය ගොස් ඇති බවය.

කෙසේ නමුදු මෙම මරණය සම්බන්ධයෙන් තවම නිශ්චිත නිගමනයක් ප්‍රකාශයට පත් වී නොමැත.

ශානි / ඇන්තනී

Social Sharing
නවතම