ලෙඩකට බෙහෙත් ඉල්ලු මිනිසුන් මරා දැමීම තරම් මිලේච්ඡ ක්‍රියාවක් නැහැ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

පොලිසීයේ අයට, බන්ධනාගාරයේ අයට අද මිනිසුන් මරන්න පුළුවන් කියන මතය සමාජගත වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් රජයේ සහ අපගේ වගකීම යන මැයෙන් කොළඹ පැවති සංවාද මණ්ඩපයට ZOOM තාක්ෂණය ඔස්සේ එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. මෙම උත්සවය “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් මධ්‍යස්ථානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකතුව විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා

මනුෂ්‍ය ඝාතන කියන්නේ අමු අමුවේ මිනී මැරීමයි. මෙවැනි තත්ත්වයක් ලංකාව තුල පැවතීම නිසා රට අගාදයට පත් වී තියෙනවා. සෑම ආගමකම ප්‍රයන්තය ප්‍රාණ ඝාතය නැති කිරිමයි. මේ තත්ත්වය තේරුම් ගත නොගතහොත් අපිට කියන්න වෙන්නේ අර මහින්ද හාමුදුරුවෝ කියු දේ පමණයි. ඒ තවම ඇහැරුණු බවක් නෑ කියා. සිවිල් සමාජයෙනුත් විය යුත්තේ අවදි වීමයි. තමුන් වටා ඇති ලෝකය කඩා වැටෙනවා. ඒක ලංකාවේ එදා සිටම සිදුවුණා. 1978 ව්‍යවස්ථාවෙන් පසු එන්න එන්නම අඩියට වැටුණා. දැන් එය අගාධයේ අඩියටම වැටිලා. එකේ ඉඳගෙන අපි මේ ශිෂ්ඨාචාර සමාජයක ජීවත් වෙනවා කියා සිතනවා.

සත්‍ය නම් අපි ඉන්නේ අශිෂ්ඨාචාරයේ. සාමාන්‍ය වචනයෙන් නම් වනචාරී සමාජයේයි. වනයේ සිටින මිනිසුන් එකත් සාධාරණ නැහැ. මොනද වනයේ සිටින්නෙත් ශිෂ්ඨාචාර මිනිසුන්. ලෙඩකට බෙහෙත් ඉල්ලු මිනිසුන් මරා දැමීම තරම් මිලේච්ඡ ක්‍රියාවක් ලෝකයේ කොහෙවත් නැහැ. ඒ අනුව අපි සිතන අයුරු, කටයුතු කරන අයුරු ශිෂ්ඨසම්පන්න නැහැ. මෙය අවබෝධ කර නොගෙන ලොව ඇති සියලුම මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව පිලිබඳ, නීතිය පිලිබඳ කථාකර වැඩක් වෙන්නේ නැහැ.

මීනි මරණ එක නතර කරන්න, තුවාල කරන එක, මානසිකව හෝ ශාරීරිකව තාඩන පීඩක කරන එක නතර කරන්න. මේවා කරන්න ලොකේ කොහේවත් කාටවත් අයිතියක් නැහැ. මේවාට විරුද්ධ නොවන සමාජයක මේවා සිදුවෙනවා. සමාජයෙන් ප්‍රතික්‍රියාවක් වෙනවනම් මේ අපරාධ නතර වෙනවා. මේ ජනතාව කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අඩුම ගණනනේ මිනිසුන් 50,000 කට එහා මිනිසුන් අතුරුදහන් වෙද්දී, පුච්චලා මරද්දී මේ සමාජයෙන් ඊට එරෙහිව ප්‍රතික්‍රියා ආවේ නැහැ.

1960 පෙර තිබු පොලීසිය අද  නැහැ.  අද පොලීසිය කියන්නේම සමාජ ගැටලුවක්. පොලීසියේ මාස ගාණක් තියාගෙන හිටපු අර මදුෂ් කියන කෙනාව වෙඩි තියලා මැරුවා. ගෙදර හිටපු බල්ලෙකුටවත් එහෙම කරන්න පුලුවන්ද? අද බල්ලෙකුට තරම්වත් මනුස්සයෙකුට සලකන්නේ නැහැ.

එදා මිනීමැරුමකදී මිනීමරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. දඬුවම් දෙන්න හැකියාව තිබුණා. නමුත් අද අපරාධ කරන සියලු දෙනා හොඳින් ඉන්නවා. එයාලව ආරක්ෂා කරනවා. නීතිය ක්‍රියාත්මක කරන මේ ආයතන මේ විදිහට රෝගාතුර වුණේ කොහොමද? මේවා සොයා විවේචනය කළ යුතුයි. එවිට ඔවුන්ගේ කටයුතු වලට බාධා වෙනවා.

අයිරංගී එදිරිසිංහ / උපුල් ආනන්ද

Social Sharing
නවතම