
ශ්‍රී ලංකාව තුළ QR ගෙවීම් ජනප්‍රිය කිරීම අරමුණු කරගත් ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
එහි මූලික පියවරක් ලෙස, අප්‍රේල් 6 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000 දක්වා සියලු LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දුන්නේ, කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවයි.
මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන 450,000කට වැඩි සංඛ්‍යාවක් LankaQR පද්ධතියට සම්බන්ධ වී තිබුණද, ආර්ථිකය තුළ තවමත් රුපියල් ට්‍රිලියන 1.48ක මුදල් නෝට්ටු සංසරණය වන බව සඳහන් වේ. එමෙන්ම, 2025 වසරේ තුන්වන කාර්තුව වන විට LankaQR හරහා සිදු වූ ගනුදෙනු වටිනාකම මසකට රුපියල් 395,000ක් පමණ වූ ඉතා සුළු මට්ටමක පැවති බවද බලධාරීහු පෙන්වා දුන්හ.
පාරිභෝගිකයින්ට QR ගෙවීම් භාවිතා කළ හැකි ආකාරය
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ සාමාජික සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සහය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචීන්ද්‍ර සමරරත්න පැවසුවේ, පාරිභෝගිකයින් QR ගෙවීම් භාවිතා කිරීම සඳහා තම බැංකුවේ ජංගම දුරකතන යෙදුම දුරකතනයට බාගත කර ඉතුරුම් ගිණුමක් ඒ සමඟ සම්බන්ධ කළ යුතු බවයි. ඒ අනුව, වෙළෙඳුන් විසින් ලබා දෙන QR කේතය ස්කෑන් කිරීමෙන් ගෙවීම් සිදු කළ හැකි බවද ඔහු පැහැදිලි කළේය.
වෙළෙඳුන්ට QR භාවිතා කළ හැකි ආකාරය
QR ක්‍රමවේදය මගින් ගෙවීම් ලබා ගැනීමට කැමති වෙළෙඳුන් තමන් ගනුදෙනු කරන බැංකුව හරහා ලියාපදිංචි විය යුතුය. එහිදී බැංකු විසින් KYC (Know Your Customer) ක්‍රියාවලිය සිදු කරමින් වෙළෙඳුන් පද්ධතියට සම්බන්ධ කරන අතර, මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වීමට සති තුනක් පමණ ගත විය හැකි බවද පැවසේ.
කෙසේ වෙතත්, දැනටමත් LankaQR සඳහා ලියාපදිංචි වී ඇති වෙළෙඳුන්ට නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවන බවද බලධාරීහු පෙන්වා දුන්නේය.
QR ගෙවීම් තවදුරටත් පහසු කිරීම සඳහා peer-to-peer (P2P) ගනුදෙනු පහසුකම ද හඳුන්වා දී තිබේ. දැනට බැංකු 7ක ජංගම යෙදුම් හරහා මෙම පහසුකම භාවිතා කළ හැකි අතර, රුපියල් 5,000ට අඩු ගනුදෙනු දෙදෙනෙකු අතර සෘජුව සිදු කළ හැකි බව සඳහන් වේ.
උදාහරණයක් ලෙස, ත්‍රිරෝද රථ රියැදුරෙකුට තම බැංකු යෙදුමෙන් QR කේතයක් ජනනය කර පාරිභෝගිකයාගෙන් ගාස්තුව ලබා ගැනීමට හැකි වන බවද පැහැදිලි කර තිබේ.
BBC සිංහල වෙබ් පිටුවේ පළවූ පුවතක් ඇසුරෙන් සැකසූවකි.
