වරෙන්තුවක් නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවට ගන්න පුළුවන්ද?


සමාජයේ බොහෝ දෙනා තුළ පවතින ගැටලුවක් වන්නේ පොලිසියට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සැමවිටම අධිකරණ වරෙන්තුවක් (Warrant) අවශ්‍යද යන්නයි.

එයට පිළිතුර වන්නේ නැත යන්නයි, සෑම අවස්ථාවකදීම එසේ වරෙන්තුවක් අවශ්‍ය නොවේ. දැන් අපි ඒ අවස්ථාවන් මොනවාද යන්න පැහැදිලි කරගමු. මහේස්ත්‍රාත් වරයකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව, යම් සාම නිලධාරියකු විසින් සිර භාරයට ගැනීම පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32(1) වගන්තියෙන් විස්තර වේ.

එලෙස වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි සංඥය වැරදි ලෙස හඳුන්වන අතර සාම නිලධාරියා යනු පොලිස් නිලධාරියකු හෝ පොලිස් කාර්යන් ඉටුකිරීමට ලියවිල්ලකින් බලයලත් උප දිසාපති හෝ ග්‍රාම නිලධාරි තනතුරක් දරන අයකුට වේ.

ඒ අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අවස්ථා ලෙස,
•තමා ඉදිරිපිට සාමය කඩ කිරීමක යෙදෙන තැනැත්තෙකු
•යම් සංඥය වරදකට සම්බන්ධ වූ තැනැත්තෙකුට හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සාධාරණ පැමිණිල්ලක් ලැබී තිබේද? හෝ නැතහොත් ඒ බව විශ්වාසනීය තොරතුරක් ලැබී තිබේද? නැතහොත් ඒ බවට සාධාරණ සැකයක් පවතීද එවැනි තැනැත්තෙකු
•නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ගෙවල් බිදීමට යොදා ගත හැකි උපකරණයක් ළඟ තබාගෙන සිටින තැනැත්තකු.
•වරද කරන්නෙකු ලෙස ප්‍රකාශයට පත් කළ යම් තැනැත්තකු.
•සොරකම් කළ බවට හෝ වංචනික ලෙස ළඟ තබාගෙන ඇති බවට සාධාරණ ලෙස සැක කළ හැකි යම් දෙයක් සන්තකයේ තබාගෙන සිටින තැනැත්තකු.
•ස්වකීය රාජකාරියේ යෙදී සිටින සාම නාලධාරියකුට බාධා කරන හෝ අත්අඩංගුවෙන් පැන ගිය හෝ පැන යාමට තැත් කරන යම් තැනැත්තකු.
• ත්‍රිවිධ හමුදාවෙන් පැන යන්නකු යැයි සාධාරණව සැක කළ යම් තැනැත්තකු
•සංඥය වරදක් කිරීමේ අදහසින් තමා සිටින බව සැඟවීමට පූර්වෝපාය යොදමින් සිටින යම් තැනැත්තෙකු
•ශ්‍රී ලංකාව තුලදී කරනු ලැබූ යම් වරදක් සම්බන්ධයෙන් දඬුවම් කළ හැකි උදර්පන හෝ පලායිත තැනැත්තන්.

වරෙන්තුවක් නොමැතිව සාම නිලධාරියකුට අත්අඩංගුවට ගත හැකි වේ.

Social Sharing
නවතම පුවත්