රේගු නිෂ්කාශන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එහි පරීක්ෂණ අදියර ද සාර්ථකව සිදු කර ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ මෙම ඩිජිටල් පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර, රේගු දෙපාර්තමේන්තුව කඩදාසි භාවිතයෙන් තොරව සේවා සපයන නවීන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම නව ක්‍රමවේදය හරහා රේගුවේ සිදුවිය හැකි දූෂණ හා වංචා අවම කිරීමට හැකියාව ලැබෙන අතර, සියලු ගනුදෙනු මාර්ගගත ක්‍රමයට සිදු කිරීම හේතුවෙන් පුද්ගල හමුවීම් අවම වන බව ද ඔහු පෙන්වා දුන්නේය. එමඟින් යම් දෝෂයක් හෝ අක්‍රමිකතාවක් සිදුවුවහොත්, එය හඳුනා ගැනීම සහ වගකීම නිරූපණය කිරීම පහසු වන බව ද සඳහන් කෙරිණි.

තවද, මෙම ඩිජිටල්කරණ ක්‍රමය යටතේ රේගු පරිශ්‍රයට පැමිණීමකින් තොරව, නිවසේ සිටම මාර්ගගතව නිෂ්කාශන කටයුතු සිදු කිරීමට හැකි වන අතර, රේගු පරිශ්‍රයට පැමිණිය යුත්තේ භාණ්ඩ ලබා ගැනීම සඳහා පමණක් බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

නෞකා වරායට පැමිණීමට පෙරම නිෂ්කාශන ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකි පරිදි මෙම පද්ධතිය සැකසෙන අතර, ඉදිරියේදී රේගු පරීක්ෂාවෙන් තොරව භාණ්ඩ නෞකාවෙන් සෘජුවම බහලුම් රථ වෙත යොමු කිරීමට හැකි ක්‍රමවේදයක්ද හඳුන්වා දීමට නියමිතය.

මෙම සියලු ක්‍රියාවලීන් ජාත්‍යන්තරව පිළිගත් “අවදානම් කළමනාකරණ මූලධර්ම” යටතේ ක්‍රියාත්මක වන බව ද ඔහු අවධාරණය කළේය.

ඒ අනුව, රේගු නිෂ්කාශන ක්‍රියාවලිය ඔන්ලයින් කිරීමත් සමඟ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ සේවා වේගය වැඩිදියුණු වන අතර, අතරමැදියන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උපුටා ගැනීම සිළුමිණ වෙබ් පිටුව

Social Sharing
නවතම පුවත්