
හම්බන්තොටට විශාල තෙල් පිරිපහදුවක් අවශ්‍යද? ආණ්ඩුව එය අවශ්‍ය බව කියන අතර පරිසරය වෙනුවෙන් සහ කුරුල්ලන් වෙනුවෙන් කතාකරන අය අතරින් පවා එයට විරුද්ධ අදහස් ඉදිරිපත් වී නැත.
මම මීට වසර පහළොවකට පෙර හම්බන්තොට වරායට යාබදව පිරිපහදුවක් සඳහා අවශ්‍යතාවය ඉදිරිපත් කළෙමි. වරාය සහ පිරිපහදුව අතර සහජීවනයක් ඇත. ලාභ ඉන්ධන සැපයීම වරාය ආකර්ශනීය කරයි. වරාය හරහා අඩු වියදමින් කෙරෙන පිරිපහදුවේ යෙදවුම් සහ නිෂ්පාදන ප්‍රවාහනය පිරිපහදුවේ ව්‍යාපාරික තත්ත්වය වැඩිදියුණු කරනු ඇත. එබැවින්, පිරිපහදුවක අවශ්‍යතාවය ගැන මහා ප්රශ්නය සම්බන්ධයෙන් කිසිදු මතභේදයක් නොමැත.
ගිවිසුම් වල කොන්දේසි
නමුත් ගිවිසුම පිලිබඳ පොඩි නමුත් ඉතා වැදගත් ප්‍රශ්න ඉතිරිව පවතී. ආයෝජන මණ්ඩලය සමඟ අත්සන් කිරීමට නියමිත ආයෝජන ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි හොඳින් පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.
* මෙම පිරිපහදුවෙන් ශ්‍රී ලංකාව මිල දී ගැනීමට බැඳී සිටින පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අවම ප්‍රමාණයක් තිබේ ද? එය මුළු නිෂ්පාදනයෙන් සියයට 40ක්, සියයට 30ක් හෝ සියයට 20ක්ද (සියලුම සංඛ්‍යා ප්රවෘත්ති වාර්තාවල සඳහන් ය)? එම ගනුදෙනුවල මිල තීරණය වන්නේ කෙසේ ද? එය ගැනීම හෝ ගෙවීමේ විධිවිධානයක්ද? එය සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් සඳහා පමණක් ද? නැතහොත් ඊට අමතරව සිපෙට්කෝ පිරවුම්හල් සඳහා සහ විදුලිබල උත්පාදනය සඳහා ද?
* දිවයිනේ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම, දිනකට බැරල් 200,000 ක හම්බන්තොට පිරිපහදුවේ සැපයුම සහ සපුගස්කන්ද පිරිපහදුවේ වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති, දිනකට බැරල් 150,000 ක ප්‍රමාණය සමඟ සැසඳිය හැකි ද යන්න පිළිබඳව ප්රක්ෂේපණ සකස් කර තිබේ ද?
* සාකච්ඡා කෙරෙන බදු සහන කාලසීමාව කොපමණ ද? රජයට පිරිපහදුවෙන් බදු නොලැබුනහොත්, ජාතියේ ආර්ථිකයට ලැබෙන ප්රතිලාභ මොනවා ද? මහා භාණ්ඩාගාරයට සිදු වන පාඩුව ගණනය කර තිබේ ද?
විදේශ ආයෝජන මගින් යම් ආකාරයකින් ආර්ථිකයට වටිනාකමක් එක් කළ යුතු ය. කටුනායක කලාපයට පැමිණි ආයෝජන රැකියා උත්පාදනය කළ අතර අපනයන ආදායම් උත්පාදනය කළේය. ආයෝජකයෝ ප්රාග්ධනයට වඩා වැඩි යමක් රැගෙන ආහ; ඔවුහු අලුත් වෙළෙඳපොළවල් විවෘත කරදී නව ශිල්පීය ක්‍රම හඳුන්වා දුන්හ. එම ප්රතිලාභ නිසා බදු සහන සාධාරණීකරණය වී ය.
නවීන ස්වයංක්‍රීය පිරිපහදු මගින් රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය නොවේ. තාක්ෂණ හුවමාරුව අවම ය. ලාභ ඉන්ධන සැපයුම් හරහා හම්බන්තොට වරායට නැව් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පැහැදිලි වාසියකි, නමුත් එමගින් පමණක් ශුන්‍ය බදු හෝ දිගු බදු සහන කාල සාධාරණීකරණය කල හැකිද?

පිරිපහදු දෙකක් අවශ්‍යද?
දේශගුණික විපර්යාස ගැන සැලකිලිමත් වන උදවිය හයිඩ්‍රොකාබන් සඳහා දැවැන්ත ආයෝජන ගැන ප්‍රශ්න මතු කල හැකි ය. මෑත සංශෝධනය කල විදුලි පනත (2 වන වගන්තිය) මගින් අදාළ අරමුණ තරමක් දියාරු කළ ද, පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සියයට 70 ක් විදුලි බලය ජනනය කිරීමේ කැපවීම රජය අතහැර දමා නැත.
එම සාධකය පසෙක තැබුව ද, සපුගස්කන්ද වැඩිදියුණු කිරීමට සහ සිනොපෙක් පිරිපහදුවෙන් දිනකට බැරල් 40,000 (සියයට 20) සිට 80,000 (සියයට 40) දක්වා ප්‍රමාණයක් ලබා ගැනීමට රජය කැපවුවහොත්, දැවැන්ත ලෙස වැඩිවන ධාරිතාව සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් ඉල්ලුමක් තිබේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුතුව ඇත.
ව්‍යාපාර සහ පාරිභෝගිකයින් සඳහා වන විදුලි පිරිවැය අඩු කළ යුතු බවට සියලු දෙනා එකඟ වෙති. සුළං සහ සූර්ය බලශක්තිය සඳහා ඇති සැලකිය යුතු විභවය සහ අවශ්‍ය උපකරණවල පිරිවැය වේගයෙන් පහත වැටීම සැලකිල්ලට ගෙන, මෙම ප්‍රභවයන්ගෙන් ජනනය වන විදුලිය වැඩි නොකිරීම මෝඩකමක් වනු ඇත. නමුත් රජය හම්බන්තොටින් දිනකට බැරල් 80,000 ක් සහ සපුගස්කන්දෙන් දිනකට බැරල් 150,000 ක් ලබා ගැනීමට කැපවී සිටී නම්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීම ශක්‍ය වේ ද?
සුළං සහ සූර්ය බලයෙන් ජනනය වන විදුලිය අවශෝෂණය කර ගැනීම සඳහා සම්ප්‍රේෂණ ජාලය සංවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු ආයෝජන අවශ්‍ය වනු ඇත. ආනයනික ඉන්ධන භාවිතයෙන් දේශීය ඉල්ලුම සපුරා ලමින්, පුනර්ජනනීය බලශක්තියෙන් ජනනය කරන විදුලිය ඉන්දියාවට අපනයනය කිරීමට රජය සැලසුම් කරනවා ද?
ශ්‍රී ලංකාවේ භූමිය තුළ පිරිපහදු කළ පමණින්, බොරතෙල් ආනයනය කළ යුතුය යන කාරණය වෙනස් වන්නේ නැත. නැතහොත් ආර්ථිකයේ සෙසු කොටස් අස්ථීර සහ මිල අධික ආනයනික හයිඩ්‍රොකාබන් පාදක විදුලිය මත යැපීමට ඉඩ දෙමින්, ලාභ පුනර්ජනනීය මූලාශ්‍රවලින් ලබාගත් විදුලිය මගින් දත්ත මධ්‍යස්ථාන ආකර්ෂණය කර ගැනීමට අපි සැලසුම් කරනවා ද?
සියයට 20 ක තීරුබදු සඳහා ඇමරිකා එක්සත් ජනපදයට දුන්, තවමත් හෙළිදරව් කර නොමැති පොරොන්දු හේතුවෙන්, ස්වභාවික වායු (LNG) පර්යන්තයක් සඳහා ආයෝජනය කිරීමට සහ සමහර විට ඇමරිකා එක්සත් ජනපදයෙන් ස්වභාවික වායු (LNG) මිලදී ගැනීමට ගත් තීරණය මෙහි දී සැලකිල්ලට ගෙන නැත.
පිරිපහදු දෙකෙන් පිරිපහදු කරන ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා භාවිතා කිරීමට අදහස් කරන බව පැවසිය හැකි ය. නමුත් ප්‍රවාහන අංශයේ ප්රවණතා මොනවාද? පොදු ප්‍රවාහනය පරිසර දුෂණයෙන් තොර සහ කාර්යක්ෂම විදුලියෙන් ක්‍රියාත්මක විය යුතු බවට බොහෝ දුරට විශ්වීය වශයෙන් වූ පිළිගැනීමක් ඇත.
මෝටර් රථ ගැනුම්කරුවෝ තම මිලදී ගැනීමේ තීරණ මගින් විදුලි වාහන සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත. ලෝක ව්‍යාප්ත ප්රවණතාවලින් පෙනී යන්නේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ගොඩබිම් ප්‍රවාහනය ඉක්මනින් ම පැරණි අභ්‍යන්තර දහන ක්‍රම අභිබවා යනු ඇති බව යි. ගුවන් හා මුහුදු ප්‍රවාහනය සම්බන්ධයෙන් වුව ද, හයිඩ්රජන් ගාමක බලය ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇත.
මෙම දැවැන්ත ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට පෙර ඉදිරි දශක සඳහා සමස්ත බලශක්ති ඉල්ලුම රජය තක්සේරු කර තිබේ ද? රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර (PPP) නීතිය තවමත් සකස් වෙමින් පවතින අතර මත්තල ගුවන්තොටුපළ වැනි ශක්‍යතා රහිත ආයෝජනවලට එරෙහිව නිශ්චිත ආරක්ෂණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ ඇත.
විදේශ ආයෝජන සම්බන්ධ වී ඇති නිසා පමණක් ඉල්ලුම් ප්රක්ෂේපණ නොසලකා හැරීම අපට කළ නොහැකි ය. ගිවිසුම්වල කොන්දේසි මගින් ප්‍රමාණවත් ප්රතිලාභ නොමැති ව්‍යාපෘති දියත් කිරීමෙන් ආර්ථිකයට පිළිගත නොහැකි බරක් පැටවීමේ අනතුර ගැන කාගේත් අවධානය යොමු විය යුතුය.
– අනිද්දා
