
ළමයින්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වූ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවත්වූවා මිස එය පාර්ලිමේන්තුව මගින් නීතියක් ලෙස සම්මත කර නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාළ නිවේදනය මෙසේය.
“ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පවත්වන ලදී.
එහෙත් අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයක් පැවැත්වූවා මිස එය නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ අතර, අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ද සංශෝධනයක් සිදු විය යුතු බැවිනි.
මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.”
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
